නව පක්ෂය සන්ධාන වලට නෑ - සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා
Image caption හිටපු හමුදාපති සරත් ෆොන්සේකා

ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය නමින් නව පක්ෂයක් පිහිටුවාගැනීම පිළිබඳව මාධ්‍යවේදීනට අදහස් ප්‍රකාශ කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියා සිටියේ වත්මන් රජය විසින් උදුරාගන ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතීන් නැවත ජනතාව වෙත ලබාදීම තම පක්ෂයේ අරමුණ බවයි.

ඔහු නායකත්වය දරණ ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමසාරිස් වරයා විසින් සඳුදා ප්‍රකාශයක් නිකුත් කරනු ලැබිණි.

"මගේ ප්‍රජා අයිතිය අහිමි කරලා තිබුණා. ඒත් පක්ෂයේ නිලධාරීන් ඉන්නවා. අනුගාමිකයින් ඉන්නවා. මම ඒ අයට නායකත්වය දෙනවා", යනුවෙන් හිටපු හමුදාපති වරයා ප්‍රකාශ කළේ ප්‍රජා අයිතිය නොමැතිව නව පක්ෂයේ නායකත්ව දැරීමේ අරමුණ පිළිබඳව යොමුකෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මම අභියෝගයක් කරනවා

"ඒ අතරේ මම අභියෝගයක් කරනවා මගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ බියගුළු ක්‍රියාදාමය පිටුපස ඉන්නා අයට, පුළුවන් නම් මගේ ප්‍රජා අයිතිය යලි ලබා දීල ජනතාව ඉදිරියේ මට මුහුණ දෙන්න කියල ", යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුල සියලු ජාතීන්ගේ අයිතීන් තහවුරු කළ යුතු බව කී නව පක්ෂ නායක සරත් ෆොන්සේකා, රට පුරා ජනතාවට එකට ජීවත්විය හැකි මානසිකත්වයක් ගොඩනැගිය යුතු බවද කියා සිටියේය.

තම පක්ෂය වෙනත් පක්ෂ සමග සන්ධානගත වීමට සුදානමක් නොමැති බවද ප්‍රකාශ කළ ඔහු, "ඒත් ඒ අයට අපගේ චන්ද ලකුණ යටතේ තරඟ කළ හැකියි." යනුවෙන් තවදුරටත් ප්‍රකාශ කළේය.