ශ්‍රී ලංකාවට එරෙහි සම්බාධක ඉල්ලා සිනමා ශිල්පීන් උපවාසයේ

සහාය දැක්වීම සඳහා මඳ වේලාවකට උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණි රැජිණිකාන්ත්
Image caption සහාය දැක්වීම සඳහා මඳ වේලාවකට උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණි රැජිණිකාන්ත්

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති බවට චෝදනා කෙරෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින දකුණු ඉන්දීය සිනමා ශිල්පීන් එක් දින උපවාසයක් සඳහා එක්වීමෙන් තමිල්නාඩු චිත්‍රපට කර්මාන්තයේ වැඩ කටයුතු ඇණ සිටි බව චෙන්නායි නුවරින් වාර්තා වෙයි.

එක්දින උපවාසය

දමිළ සිනමාවේ සුපිරි තරු රැජිණිකාන්ත්, උපවාසයට සහාය දැක්වීම සඳහා මඳ වේලාවකට උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණි අතර, මෙම එක්දින උපවාසය පැවැත්වෙන්නේ දකුණු ඉන්දීය සිනමාවේදීන්ගේ සංවිධානයේ චෙන්නායි කාර්යාලය ඉදිරිපිටදීයි.

ආර්ථික සම්බාධක

පසුගිය සතියේ තමිල්නාඩු ප්‍රාන්ත රජය සම්මත කරගත් යෝජනා වලට තම සහාය ලබා දෙන බව සිනමා ශිල්පීහු මෙහිදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවට එරෙහි ආර්ථික සම්බාධක පැනවීමට ක්‍රියාත්මක විය යුතු බවට එම යෝජනාවල සඳහන් වී තිබේ. එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගත යුතු බවද උද්ඝෝෂක කලාකරුවෝ ඉල්ලා සිටිති.