මුස්ලිම්වරුන්ට හා කිතුනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ප්‍රහාර වලක්වන්නැයි ක්‍රිස්තියානි සංවිධානයක් ඉල්ලා සිටී

relics

මුස්ලිම්වරුන්ට හා කිතුනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ප්‍රහාර මාලාවක් දියත් කොට ඇති සංවිධාන කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන්නේ බලධාරීන්ගේ සහාය ලැබෙන බැවින් යැයි ක්‍රිස්තියානි සංවිධානයක් කියා සිටී.

ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය මාධ්‍ය නිවේදනයක් මගින් රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩ කාරී සංවිධාන වලට සහාය පළ කැරෙන ආකාරයේ දේශපාලන පනිවුඩ නිකුත් කිරීමෙන් වලකින ලෙසයි.

මීට සති කීපයකට ඉහතදී එම සන්ධානයට අයත් වීරකැටිය ජීවනාලෝක සභාවට කඩා වැදුණු බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් ඊට පහරදී අලාභ හානි සිදු කළහ.

නම හෙළි කිරීමට බිය පළ කළ ප්‍රකාශිකාවක් ප්‍රහාර එල්ල වෙතැයි බියෙන් ගෙවීගිය පාස්කු සමයේදී ආගමික වත් පිළිවෙත්හි නිරතවීමට තම සභාවේ සාමාජිකයින්ට නොහැකි වූ බව කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ බහු වාර්ගික හා බහු ආගමික පරිසරය තුල සමානතාව රැකීමට ඇති කැපවීම පැහැදිලිව දක්වන ලෙසයි එම සංවිධානය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

1952 දී ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද ජාතික ක්‍රිස්තියානි ධර්මධාන සන්ධානයේ දේවස්ථාන හැත්තෑ හතරක් ශ්‍රී ලංකාව පුරා පිහිටා තිබෙන අතර,තමන් ලක්ෂ දෙකකට අධික කිතු බැතිමතුන් නියෝජනය කරන බවයි සන්ධානය පවසන්නේ.