විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම 'මහින්ද චින්තනය ක්‍රියාවට නැගීමක්'

President Mahinda Rajapaksa
Image caption මහින්ද චින්තනයේ පොරොන්දුවක් ක්‍රියාවට නැගීමට ජනාධිපතිවරයාට මහඟු අවස්ථාවක් උදා වී තිබෙන බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය පෙන්වා දෙන සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, එය ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමක් බව අවධාරණය කරයි.

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1978 දී ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය බිඳ වැටීමට මෙන්ම අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය බිඳ වැටීමටත් හේතු සාධක වූ බව එම ව්‍යාපාරයේ අදහසයි.

එම ව්‍යාපාරය නියෝජනය කරමින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මාදුළුවාවේ සෝභිත හිමියෝ, මෙම යෝජනාව කිසිදු පක්ෂයකට සහයෝගය දීමේ හෝ විරුද්ධ වීමේ අභිප්‍රායෙන් ඉදිරිපත් කරන්නක් නොවන බව අවධාරණය කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම අතීතයේ පැවති අන්දමින් පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී පදවිය අහිමි වන ආකාරයේ යෝජනාවක් ද එකොලොස් වැදෑරුම් සංශෝධනයට ඇතුලත් වන බව නීතිවේදී ක්‍රිශාන්ත වැලිඅමුණ පෙන්වා දුන්නේය.

එල්ටීටීඊ යට එරෙහි යුද්ධය මෙහෙයවීම සඳහා විධායක ජනාධිපති ධූරය බොහෝ උපකාරී වූ බවයි, ආණ්ඩුවේ තර්කය වී තිබෙන්නේ.

කෙසේ නමුත් එය "මිථ්‍යාවක්" බව පවසන නීතිවේදී වැලිඅමුණ, ලොව බොහෝ බලවත් සහ සංවර්ධිත රටවල පවතින්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බව උදාහරණ සහිතව පෙන්වා දෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝද, විරුද්ධ පක්ෂයේ සිටියදී විධායක ජනාධිපති ක්‍රමය දැඩි විවේචනයට ලක් කළහ.

මීළඟ මැතිවරණය එළඹෙන තුරු බලා නොසිට මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිණිස සියලු දේශපාලන පක්ෂ, සංවිධාන සහ ජන කොටස් වහාම ක්‍රියාත්මක විය යුතු බවයි, මආධ්ය්වෙදීන් හමුවේ අදහස් දැක්වූ රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා අවධාරණය කළේ.