ඊජිප්තු කලාකරුවාගේ රූපවාහිනී විශේෂාංග තහනම් කරන ලෙස පැවරූ නඩුව ඉවතට

ඊජිප්තුවේ, ඉතාම ජනප්‍රිය උපහාසාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන, බසෙම් යූසුෆ් (Bassem Youssef) කලාකරුවාගේ රූපවාහිනී විශේෂාංග සහ , ඒවා ප්‍රචාරයේ කෙරෙන නාලිකාව තහනම් කරන ලෙස ඉල්ලමින් පවරන ලද නඩුවක් එරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණ.

ඉස්ලාම් දහමට සහ ජනාධිපති මොහමඩ් මුර්ෂිට අවමන් කළේයැයි චෝදනා එල්ල වීමෙන් අනතුරුව , බසෙම් යූසුෆ් විසින් ඉදිරිපත් කරනු ලැබූ පළමු වැඩසටහණ විකාශනය වීමෙන් දවසකට පසුවයි, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ.

දැනට ඇප මත මුදාහරිනු ලැබ සිටින බසෙම් යූසුෆ් කලාකරුවා, තම නව වැඩසටහනත් උපයෝගී කරගෙන තිබුනේ, ජනාධිපති මොහමඩ් මුර්ෂි යොදාගනිමින් විනෝදාත්මක ප්‍රහසණයක් ඉදිරිපත් කිරීමට.

ඊජිප්තු නීතිපතිවරයා සහ ජනාධිපති මුර්ෂිවාදී මාධ්‍ය ආයතන විසින් බසෙම් යූසුෆ්ට එරෙහි අධිකරණ ක්‍රියාදාමය පෙරට ගෙනයමින් තිබේ.

මේ අතර, "අල් කුෂුස්" (Al-Khusus) නගරයේ මුස්ලිම් සහ "කොප්ටික්" (Coptic) කිතුනු ජනතාව අතර සිදු වූ ගැටුම්වලින් අඩුතරමින් හතර දෙනකුවත් මරණයට පත්ව ඇති අතර , තවත් කීප දෙනකුට තුවාළ සිදුව ඇතැයි ඊජිප්තු මාධ්‍ය කළේය.

අල් කුෂුස් (Al-Khusus) පිහිටා තිබෙන්නේ, කයිරෝ අගනුවරට කිලෝ මීටර් තිහක් පමණ උතරු දෙසින්.

ගැටුම් ආරම්භ වුනේ ඉස්ලාමීය ආයතනයක තාප්පයක කුරුසයක් ඇඳීමේ සිද්ධියකින් පසුව බවත්, ඒ සමඟ වෙඩි හුවමාරුවක් සිදු වූ බවත් ඊජිප්තු මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ,මේ වනවිට පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයක රැකවරණය සඳහා ආරක්ෂක හමුදා යොදවා ඇත.

හිටපු ජනාධිපති හොස්නි මුබාරක්, මෙයින් වසර දෙකකට පෙර පදවියෙන් නෙරපා හරිනු ලැබීමෙන් පසු, ඊජිප්තුවේ ආගම්වාදී ගැටුම් වැඩි වී තිබේ.