නිදහස් කල එල්ටීටීඊ සැකකරුවකු යලි අත් අඩංගුවට ගැනීම ගැන කරුණු දක්වන්න - ශ්‍රේෂ්ඨාධිකරණය

අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනයට ලක් කිරීමෙන් පසුව නිදහස් කල එල්ටීටීඊ සැකකරුවකු නැවත ත්‍රස්ත මර්ධන කාර්යාංශය මගින් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරයි.

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන වවුනියාව ප්‍රදේශයේ පදිංචි රාගවන් සුරේෂ් නමැති සැකකරුවා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළේ.

පෙත්සම්කරු පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2009 වසරේදී තමා අත් අඩංගුවට ගෙන පොලිස් භාරයට පත් කල බවයි.

පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත එක් වසරක කාලයක් පුනරුත්ථාපනයට ලක් කිරීමෙන් පසුව තමා නිදහස් කෙරුණු බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව ත්‍රස්ත මර්ධන කාර්යාංශය 2011 වසරේදී තමා නැවත අත් අඩංගුවට ගත් බව පවසන පෙත්සම්කරු, එසේ අත් අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට පොලීසිය අසමත් වූ බවට ද චෝදනා කළේය.

දැනට නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ පසුවන තමා නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.