අනවසරයෙන් සතුන් දඩයම් කළ හමුදා නිලධාරීන් අත් අඩංගුවේ

කන්තලේ රක්ෂිත වනයෙන් අනවසරයෙන් සතුන් දඩයම් කිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුදධි අංශයේ නිළධාරීන් හතර දෙනක් සහ සිවිල් වැසියෙක් අද (සෙනසුරාදා) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

අත් අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් කන්තලේ, ගන්තලාව යුද හමුදා කඳවුරේ සේවය කරන අතර සිවිල් වැසියා ඔවුන්ගේ අරක්කැමියා බව පොලීසිය පැවසීය.

වාන් ඇළ පොලීසිය විසින් ඔවුන් ගමන් කළ වාහනය සෝදිසි කිරීමේදී, එහි තිබී මරා දමන ලද මුවන් දෙදෙනකුගේ සහ සාවකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු, වැඩ බලන මහේස්ත්‍රාත් ශානිකා පෙරේරා විසින් ඔවුන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කොට, ලබන 18 වැනිදා නඩු විභාගය කැඳවීමට නියෝග කෙරිණ.

මෙසේ සතුන් දඩයම් කිරීම බෙහෙවින් සිදුවන බවයි, වන ජීවී අඩවි සහකාර ජේ.පී .ඒ.විජේකුමාර මාධ්‍ය වේදීන්ට ප්‍රකාශ කළේ. දඩයම් කරනු ලබන සතුන් කන්තලේ නගරයේ ප්‍රධාන පෙළේ හෝටල්වල සහ වෙළෙඳ පොළේ අලවි කිරීමට ඇති බව ඔහු සඳහන් කළේය.

ඌරන්, මුවන් , සාවුන්, ඉත්තෑවන් සහ මී මින්නන් එසේ අලෙවි කෙරෙන වන සතුන් අතර වන බවත් තුවක්කු අතැති කණ්ඩායමක් විසින් එම නීති විරෝධී ව්‍යාපාරය සිදුකරන බවටයි වාර්තාවන්නේ.