කොටි සංවිධානය විශාල කළේ ඉන්දියාව - අමාත්‍ය පාඨලී චම්පික රණවක

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පිළිබඳව කිසිදු තැකීමක් ඉන්දීය දේශපාලනඥයන් බහුතරයකගේ නොමැති බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කරයි.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකාවේ බහුතර ජාතිය වූ සිංහල ජනතාවගෙන් සුළුතරයක් වන දෙමළ ජනතාවට හිරිහැර වන බවට පෙන්වා දීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ සමහ දේශපාලනඥයන් උත්සාහ කරන බවයි.

එහෙත් ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දෙමළ ජනතාව සියයට තිස් තුනක් කිසිදු අතවරයකට මුහුණ නොදී කල් ගෙවන බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අද ප්‍රවෘර්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ දෙමළ ත්‍රස්තවාදය පතුරුවාලීමට ඉන්දියාව ක්‍රියා කළ බවට අමාත්‍යවරයා චෝදනා එල්ල කළේ මෙසේයි,

"බොහොම පැහැදිළිව අපි කියනවා මේ රටේ දෙමළ ජනතාවටත් ඒ වගේම මේ රටේ එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද්ධය විසින් බැට කාපු සිංහල - මුස්ලිම් ජනතාවගේත් ගැටලුවලට ප්‍රධාන වග උත්තරකරු ඉන්දීය ආණ්ඩුව කියල. මොකද වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති කුඩා ත්‍රස්තවාදී කල්ලිය මහා පරිමාන ත්‍රස්තවාදී හමුදාවක් බවට පරිවර්තනය කළේ ඉන්දීය රජය නිසා "

තමිල්නාඩු ප්‍රාන්තයේ බලපෑමට යටත්වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාවට ඉන්දියාව ජන්ද ප්‍රකාශ කළ බවට ගෙන එන තර්කය පිළිගත නොහැකි බවත් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පැවසුවේය.