ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ ප්‍රහාරයක් - ඇමති ඩග්ලස් දේවානන්ද

උදයන් පුවත් පත් කාර්යාලයට එල්ල වී ඇති ප්‍රහාරය ගැන තමන් කණගාටුවන බව රජයේ පාර්ශවකරුවකු වන ඊපීඩීපී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ප්‍රකාශ කරයි.

නමුත්, මෙය ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් සිදු කළාද එසේ නැත්නම් උදයන් පුවත් පතේ වාර්තාකරණය හේතුවෙන් කුපිත වූ ජනතාව ඊට ගිනි තැබුවේද යන්න සොයා බැලිය යුතුව ඇති බවයි, ඔහු පැවසුවේ.

එසේම රක්ෂණ මුදල් ලබා ගැනීමේ අරමුණෙන් උදයන් පුවත් පත් ආයතනය විසින්ම එය සිදු කොට ඇත්ද යන්න ගැන තමන්ට සැක සහිත බවත් ඔහු සඳහන් කළේය.

යුද්ධය අවසන්වී වසර තුනකට වැඩි කළක් ගතවී ඇති බවත්, උදයන් පුවත් පතට දිගින් දිගටම ප්‍රහාර එල්ල කෙරෙන බවත් පෙන්වා දී ඔහු සදහන් කරන කරුණු ගැන රජය විසින් පරීක්ෂණ සිදු නොකරන්නේ ඇයි දැයි විමසීමක් කල විට ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා යළිත් කියා සිටියේ මේ ප්‍රහාරය පුවත් පත් කාර්යාලය විසින්ම සිදු කළ එකක් බව රජය ප්‍රකාශ කොට ඇති බවයි.

අත් අඩංගුවට ගැනීම් නෑ

මේ එල්ලවන ප්‍රහාර පිළිබඳව දිගින් දිගටම පොලීසියට පැමිණිලි කොට ඇති බවයි උදයන් පුවත් පතේ හිමිකරු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවණභවන් පැවසුවේ.

දෙමළ ජාතික සන්ධානය විසින් තෙලිප්පලේ අහාර වර්ජනයක් දියත් කළ අවස්ථාවේදී ඊට බාධා කළ පුද්ගලයන් අල්ලා ගත් බවත් ඔවුන් බුද්ධි අංශයේ සාමාජිකයන් බවට හඳුනාගෙන පොලීසියට භාර දුන් බවත් ඔහු පැවසුවේය.

ඊට අදාළ ජායාරුප පවා තමන් ළඟ ඇති බව පවසන මන්ත්‍රීවරයා, එම පුද්ගලයන් භාරදීමෙන් පසුව පොලීසිය විසින් ඔවුන් නිදහස් කල අතර පසුව යුද හමුදා කඳවුර දෙසට දිව ගිය බවත් සඳහන් කළේය.

මෙවැනි සිද්ධීන්, ජෙනරාල් මහින්ද හතුරුසිංහ හෝ පොලීසිය හෝ නොදැනුවත්ව සිදුවිය නොහැකි බවයි ඔහු කියා සිටියේ.

ආයුධ නීතිය

යාපනයේ යුද හමුදාවට අමතරව කිසිවකුට ආයුධ ළඟ තබා ගැනීම තහනම් බවත් එය නීතියක් බවත් පවසන මන්ත්‍රීවරයා එසේනම් ප්‍රසිද්ධියේම පුද්ගලයන් තිදෙනකු කිසිදු බියකින් තොරව උදයන් පුවත් පත් කාර්යාලයට පැමිණියේ කෙසේදැයි ප්‍රශ්ණ කළේය.

ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය හේතුවෙන් උදයන් පුවත් පත ගැන බෙහෙවින් කලබල වී සිටින බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවණභවන් පැවසුවේ.

රක්ෂණ වන්දි ලබා ගැනීම සඳහා උදයන් පුවත් පත විසින්ම ප්‍රහාර එල්ල කරගන්නා බවට අමාත්‍යවරයා නගන චෝදනාවට පිළිතුරුදුන් ඔහු පැවසුවේ ඒවා ඔවුන් විසින් ගොතනු ලබන ප්‍රබන්දයන් බවයි.

ඉකුත්දා කිලිනොච්චියේ තම බෙදා හැරීමේ කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයේදී සිදුවූ අලාභ හානිවලට හෝ තමා රක්ෂණ වන්දි ලබා ගෙන නැති බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවණභවන් තවදුරටත් කියා සිටියේ.

වැරදි මත

හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කළ බවට වැරදි මතයක් ප්‍රචාරය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා උත්සාහයක නිරත වන බවයි, යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේ.

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් වාසි ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තුවන බව පැවසූ ඔහු හමුදාවට එල්ලවන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේය.

එසේ නම් මේ ප්‍රහාර ගැන පරීක්ෂණ නොපවත්වන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේ උදයන් පුවත් පතට පමණක් ප්‍රහාර එල්ලවීම තමන්ටත් ප්‍රශ්නයක් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර