නිවුස් ෆර්ස්ට් නාලිකාවේ මාධ්‍යවේදීන්ට 'තර්ජන'

Sirasa MTV/MBC News1st

කිසියම් පිරිසක් විසින් සිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු රැස්කරමින් සිටින බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කළ බව එම්ටීවී/එම්බීසී මාධ්‍ය ජාලය පවසයි.

සිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් කොම්පඤඤවීදිය පොලීසියට පැමිණිල්ලක් ගොනු කරන ලද බව එම්ටීවී/එම්බීසී මාධ්‍ය ජාලයට අනුබද්ධ නිවුස් ෆර්ස්ට් නාලිකාවේ ප්‍රධානී ෂෙවාන් ඩැනියෙල් බීබීසී සංදේශයට පැවසීය.

විශේෂයෙන්ම නිවුස් ෆර්ස්ට් නාලිකාව විසින් පසුගිය සතියේ විකාශය කරන ලද මොරටුවේදී අතුරුදහන් වූ පුද්ගලයෙකු පිලිබඳ ගවේශණාත්මක වාර්තාවට සම්බන්ධ වාර්තාකරු සහ සංස්කාරකවරයාගේ නමින්ම සඳහන් කොට ඔවුන් දෙදෙනා පිළිබඳව තොරතුරු සොයමින් සිටින බවට තොරතුරු ලැබුණු බව ද ඔහු පවසයි.

මීට පෙරාතුව මෙවැනි ආකාරයේ තර්ජන එල්ල වූ සාම අවස්ථාවකම සිරස/එම්ටීවී මාධ්‍ය ජාලයට ප්‍රහාර එල්ල වූ බව සංදේශයට කියා සිටි ෂෙවාන් ඩැනියෙල්, එවැනි වාතාවරණයක් යටතේ මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව සංදේශයට කියා සිටි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන, අදාළ මාධ්‍යවේදීන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටින්නේ නම් එම ආරක්ෂාව ලබාදීමට පොලීසිය පියවර ගනු ඇතැයි විශ්වාසය පළ කළේය.