ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 25 සමාජයට නිදහස් කරන්නේ නැහැ - ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රලියාවේ මෙල්බරන් නුවර කඳවුරක ආහාර වර්ජනයේ නිරතව සිටින ශ්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් එල්ටීටීඊ සංවිධානයේ වෙනම රාජ්‍ය සංකල්පයට මතවාදී වශයෙන් සම්බන්ධවූවන් බවට එරට රජය නිගමනය කොට තිබේ.

එම ශ්‍රී ලාංකික දෙමළ ජාතිකන් ඕස්ට්‍රේලියානු සමාජයට නිදහස් නොකරන බවයි, රජය පවසන්නේ.

මේ වනවිට ක්‍රිස්මස් දූපතේ සිටින ශ්‍රී ලාංකිකයන් හැට හය දෙනා පිළිබඳව ගන්නා තීරණයද ඉතා ඉක්මනින් දැනුම් දෙන බවත් ඕස්ට්‍රලියානු රජය ප්‍රකාශ කොට තිබේ.

මෙල්බරන් නුවර බ්‍රෝඩ් මෙඩෝව් රැඳවුම් කඳවුරේ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකන් විසි පස් දෙනකු දිගු කළක් සිට රඳවා සිටින බවයි කැන්බරා නුවර සිටින දේශපාලන ක්‍රියාධරයකු වන ලයනල් බෝපගේ පැවසුවේ.

එම දෙමළ ජාතිකයන් ප්‍රචණ්ඩ ක්‍රියා වලටද සම්බන්ධවූවන් නිසා සමාජ ගත කිරීමෙන් රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ඕස්ට්‍රලියානු ආරක්ෂක ඔත්තු සේවාව අද (බදාදා) නිකුත් කළ වාර්තාවකින් නිර්දේශ කොට තිබේ.

එහෙත්, එල්ටීටීඊ සංවිධානය දැන් නොමැති නිසාත්, ඕස්ට්‍රලියාවේ එල්ටීටීඊ සංවිධානය තහනම් කොට නැති නිසාත් , එම තීන්දුවට එරෙහිව අධිකරණයේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමිවී ඇති බවයි, දේශපාලන ක්‍රියාධරයකු වන ලයනල් බෝපගේ පවසන්නේ.

ඔවුන් හමුවීමට යාමට කිසිවකුට හෝ ඉඩ කඩක් නොලැබෙන මට්ටමක් පවතින බවත් ඔහු පැවසුවේය.

එම ශ්‍රී ලාංකික දෙමළ දේශපාලන රැකවරණ පතන්නන් මේ වනවිට ආහාර වර්ජනයක් ආරම්භ කොට දින නවයක් ගතවී තිබෙන බව බව දේශපාලන ක්‍රියාධරයකු වන ලයනල් බෝපගේ තවදුරත් ප්‍රකාශ කළේය.