මහජන උපයෝගිතා කොමිසමෙන් ජනතාවට සෙත සැලසී නැහැ - ජනතා විමුක්ති පෙරමුණ

ජනතාව මත අත්තනෝමතික ලෙස අනුකම්පා විරහිතව පටවන බර දරා නොගෙන, විදුලි බිල වැඩි නොකරන ලෙස ඉල්ලා සමස්ත ජනතාවම පාරට බැස උද්ඝෝසනය කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

එසේ කියා සිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද බ්‍රහස්පතිනදා මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කර සිටියේ, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලා සිටින දේශපාලකයන් රටට ආදර්ශයක්ව ක්‍රියා කොට ඇත්ද යන්නයි.

රජය විසින් උත්සව, සැණකෙළි සහ ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් පුළුස්සා දමන විදුලි ඒකක වෙනුවෙන් ජනතාවට ගෙවීමට සිදුවී ඇති බවයි ඔහු පවසන්නේ.

මහජන උපයෝගිතා කොමිසම දැඩි විවේචනයට ලක් කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එමගින් ජනතාවට සෙත සැලසෙන කිසිදු තීන්දුවක් නොගන්නා බව ප්‍රකාශ කළේය.

"මහජන උපයෝගිතා කොමිසම පහුගිය කාළේ ගත්ත එකම තීරණයක්වත් නැහැ ජනතාවට සහන ලැබෙන සහ වාසිවන," ඔහු අවධාරණය කළේය.

විශාල බලාපොරොත්තු ජනතාව තුල ඇති කරමින් විශාල මුදලක් වැය කරමින් ඉදිවූ නොරෝච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය රටේ ආර්ථික වර්ධනයට කිසිදු ආකාරයකින් දායක නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

විදුලි බල පනත සංශෝදනය කරමින් රජය විදේශ රාජ්‍ය ආයතනවලට ශ්‍රී ලංකාවේ විදුලි බල ව්‍යපෘති සඳහා සහභාගිවීමට ඉඩකඩ සලසා දීමට සුදානම් වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තවදුරත් සඳහඳු කළේය.