ඕස්ට්‍රේලියාව ශ්‍රී ලාංකිකයන් බලහත්කාරයෙන් දොට්ට දමයි

ජාවාරම්කරුවන් විසින් සපයනු ලබන බෝට්ටු හා නැව් මගින් ඕස්ට්‍රේලියාව බලා යෑමට උත්සාහ නොකරන ලෙසට ඕස්ට්‍රේලියානු රජය කරන නිවේදන නොතකා එහි යාමට උත්සාහ ගත් තවත් පිරිසක් අද අත් අඩංගුවට ගනු ලැබූහ.

පසුගිය පැය 24 තුලදී මෙසේ නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යාමට තැත් කළ105 දෙනකු පොලීසිය සහ නාවික හමුදා විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

ඕස්ට්‍රේලියාවේ දී මෙසේ පැමිණෙන පුද්ගලයන්ට විශේෂ සැලකිලි නැති බවත්, රැකියා අවස්ථා නොමැති බවත් පවසමින් ඕස්ට්‍රේලියානු රජය විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට එහි නොපැමිණෙන ලෙසට දන්වා සිටී.

යාපනය, කිලිනොච්චි,වවුනියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් 44 දෙනකු කළුතර, කළුවාමෝදර දී අද (සිකුරාදා) අලුයම අත් අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

දෙමළ ජාතිකයන් වන මේ පිරිස අතරේ කාන්තාවන් පස් දෙනක් සහ ළමුන් හතර දෙනකුද සිටින බවයි පොලීසිය පවසන්නේ.

තවත් 61 දෙනකු බෝට්ටුවක ගමන් කරමින් සිටියදී වාකරේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ අත් අඩංගුවට ගෙන තිබේ.

මේ අය අතරින් එක් සිංහල ජාතිකයකු හැර සියලු දෙනාම දෙමළ ජාතිකයන් වන අතර, කාන්තාවන් අට දෙනකු සහ දරුවන් දහ දෙනකුද සිටින බව පොලීසිය පැවසුවේය.

මේ අතර, පසුගිය දින කිහිපය තුල ඕස්ට්‍රේලියාවට දේශපාලන රැකවරණ පතා ගිය ශ්‍රී ලාංකිකන් අතරින් 38 දෙනෙක් ඊයේ බ්‍රහස්පතින්දා පෙරලා පැමිණියහ.

මෙයින් කිහිප දෙනෙකු ස්වකැමැත්තෙන් පැමිණියත් බොහෝ දෙනා ඔවුනගේ කැමැත්ත නොසලකමින් බලහත්කාරයෙන් පිටමන් කොට ඇති බවට යි වාර්තා වී තිබෙන්නේ.

මේ අනුව පසුගිය මාස කිහිපය තුල යලි පැමිණි පිරිස දහසක් ඉක්මවන බව ගණන් බලා තිබේ.

මෙලෙස බලහත්කාරයෙන් සරණාගතයන් යළි පිටත් කිරීමේදී ඔවුන් පිලිබඳ විධිමත් වග විභාගයක් සිදු නොකිරීමෙන් මෙම පිරිස් අනතුරට පත් කෙරෙන බවට මානව හිමිකම් කොමිසම චෝදනා එල්ල කර සිටී.

එරට බලධාරීන් ශ්‍රී ලාංකික සරණාගත පිරිස් වෙනුවෙන් ක්‍රියාත්මක කරවන නව, කඩිනම් ක්‍රියා පිළිවෙත තුල සැබෑ ලෙස රැකවරණ ලැබිය යුතු පුද්ගලයනට නීතිමය උපදෙස් ලබා ගැනීමේ අවස්ථා මෙන්ම අභියාචනා ඉදිරිපත් කිරීමේ ඉඩකඩද අහිමිවී ඇති බවටයි ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම චෝදනා එල්ල කරන්නේ.