උතුරේ පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම සැප්තැම්බර් මාසයේදී - ජනාධිපති

උතුරේ පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රතිඥා දෙයි.

වැලිඔය ජනපදයේ ගොවීන්ට මහවැලි ඉඩම් යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

ජනපදයේ පවුල් දහසකට වැඩි සංඛ්‍යාවකට ඉඩම් ඔප්පු ලබා දෙන අතර සංකේතාත්මක වශයෙන් ජනාධිපතිවරයා විසින් පවුල් හතළිහකට ඉඩම් ඔප්පු බෙදා දෙන ලදී.

වැලිඔය ක්‍රීඩාංගනයේ දී මහවැලි ගොවීන් අමතමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවසුවේ ඔවුන්ගේ ජීවිතවලට ශක්තියක්වීම සඳහා ඔප්පු ලබා දුන් බවයි.

ගොවි ජනතාවගෙන් ඉල්ලීමක්

'මේවා ලබාදෙන්නේ උකස් කිරීමට නොවෙයි. වෙනත් අයට පැවරීමට නොවෙයි,' යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා තමන්ගේම බිමේ කුලීකරුවන් නොවන ලෙසට ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකාව වසර ගණනාවකට පසු ,පළමු වතාවට සහලින් ස්වයංපෝෂිතවී සිටින බවත් අද වන විට සහල් පිටරට යැවීමට පවා සමත්ව සිටින බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කියා සිටියේය.

රුපියලකින් දෙකකින් විදුලිය ඉහල යාමත් සමග සමහර පිරිස් බනින්නට පටන් ගෙන ඇති බව කී ජනාධිපතිවරයා, සිගරැට් සහ අරක්කු මිළ කෙතෙක් ඉහල ගියත් ඊට විරෝධය පල නොකොට ඕනෑ තරම් වියදම් කරන බව සඳහන් කළේය

වැලිඔය ප්‍රදේශයේ ගුරු හිඟයට පිළියම් යෙදීම සඳහා පියවර ගන්නා බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගොවි ජනතාව අමතමින් තවදුරත් ප්‍රකාශ කළේය.

විරෝධය

මේ අතර, වැලිඔයට නුදුරින් පිහිටි කොක්කුතුඩුවායි ගම්මානයේ වැසියන් අද (සෙනසුරාදා) උද්ඝෝෂණයකට සහභාගිවී සිටියේ තමන්ටත් ස්ථිර ඔප්පු ලබා දෙන ලෙස ඉල්ලමින්.

වැලිඔය ගම්වාසීන්ට පෙර තමන් කොක්කුතුඩුවායි ගම්මානයේ පදිංචිව සිටියත්, තම ඉඩම්වලට මෙතෙක් ස්ථිර ඔප්පු ලැබී නැති බව උද්ඝෝෂණයට සහභගිවූ පිරිස පැවසූහ.