කොටගල වතු කම්කරු උද්ඝෝෂණයට ප්‍රහාරයක්

කොටගල වතු කම්කරු උද්ඝෝෂණය
Image caption කොටගල වතු කම්කරු උද්ඝෝෂණයට ප්‍රහාරයක්

වතු කම්කරු වැටුප් සම්බන්ධයෙන් අත්සන් කළ සාමුහික ගිවිසුමට විරෝධය පාමින් නුවරඑළියේ කොටගල උද්ඝෝෂණයකට සහභාගී වුවන් පහර කෑමට ලක්වී තිබේ.

මේ මස මුලදී ලංකා කම්කරු කොන්ග්‍රසය, මුල් වී වතු හිමියන් හා අත්සන් කළ සාමුහික ගිවිසුමෙන් මුලික කම්කරු වැටුප රුපියල් 450 දක්වා ඉහල නංවා ඇත.

එය ප්‍රමාණවත් නොවන බව පවසන වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සම්මේලනය, කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුනේ මුලික වැටුප රුපියල් 520ක් දක්වා ඉහල දමන ලෙස බල කරමින්.

සම්මේලනයේ සභාපති මනෝ ගනේෂන් සංදේශයට කියා සිටියේ තමන් ඇතුළු උද්ඝෝෂකයන් පහර කෑමට ලක්වෙද්දී පොලිසිය ක්‍රියාත්මක නොවූ බවයි.

'කෝපයට පත් කම්කරුවන්'

කලින් අවසර දී තිබූ කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිටින් ඉවත් වී වෙනත් ස්ථානයක උද්ඝෝෂණය පවත්වන ලෙස පොලිසිය තමාගෙන් ඉල්ලා සිටි බවයි මනෝ ගනේෂන් තවදුරටත් කියා සිටියේ.

අනතුරුව දිඹුලපතනට ගොස් උද්ඝෝෂණය පවත්වන්නට සිදුවූ බව නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේය.

වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මනෝ ගනේෂන් ගෙන එන චෝදනා ලංකා කම්කරු කොන්ග්‍රස් නායකත්වය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒවා අසත්‍ය තොරතුරු බව සඳහන් කරමින්.

'කෝපයට පත් කම්කරුවන් උද්ඝෝෂකයන්ට පහර දෙන්නට ඇති' බවයි ලංකා කම්කරු කොන්ග්‍රස් නායක මුතු සිවලිංගම් නියෝජ්‍ය අමාත්‍ය වරයා තව දුරටත් කියා සිටියේ.