ශ්‍රී ලංකාවේ සහාය ලැබෙන්නේ වැඩි දස්කම් දැක්විය හැකියි- මැරතන් ශුර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ

anuradha cooray

රටවෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් තරඟ වදින තමන් හට ශ්‍රී ලංකාවේ බලධාරීන් ගෙන් ප්‍රමාණවත් ලෙසින් සහාය ලැබෙන්නේ නම් දැනට වඩා දස්කම් දැක්විය හැකි බව ලන්ඩන් මැරතන් ධාවන තරඟයේ දා හතර වෙනි තැන දිනාගත් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පවසයි.

තිස් පන්දහසකට අධික ජනකායක් සහ ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් සහභාගිවූ ලන්ඩන් මැරතන් ධාවන තරඟය, ඔලිම්පික් තරගය සඳහා සුදුසුකම් ලබන කාලයට අඩුවෙන් නිමා කරන්නට ලැබීම මහත් සතුටට හේතුවක් බව අනුරාධ කුරේ බීබීසී සංදේශයට කියා සිටියේය.

තරඟය නිමා කිරීම සඳහා අනුරාධට ගත වුයේ පැය දෙකයි මිනිත්තු දා හතක් සහ තත්පර පනස් තුනකි.

සතිය පුරා පැය හතලිහක කාලයක් ලන්ඩනයේ වෙළෙඳ සැලක සේවය කරන අතරවාරයේ පුහුණුවට ලැබෙන ඉඩ කඩ සීමිත බව කියා සිටි අනුරාධ කුරේ ලබන වසර මැද ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ වලට සහභාගී වීම තමන්ගේ ඊළඟ ඉලක්කය බව පැවසීය.

රැකියාව ට යාමට ඒමට දිවීමයි මැරතන් ශූර අනුරාධ පුහුණු වන ප්‍රධානම මාර්ගය.

" මම දැන් රට වෙනුවෙන් අවරුදු දාහතක්‌ දුවලා තියෙනවා එත් තාම මට සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් මට ලැබිලා නැහැ" යැයි අනුරාධ කුරේ ප්‍රකාශ කළේය.

ක්‍රීඩකයන් ගේ හැකියාවන් දැන හඳුනා ගෙන ඒවා වර්ධනය කර ගැනීමට සහය වීම ක්‍රීඩා බලධාරීන්ගේ වගකීමක් බව අනුරාධ කුරේ වැඩි දුරටත් කියා සිටියේය