අධ්‍යාපන අමාත්‍යවරයාට එරෙහි පෙත්සමක් අධිකරණයට

ශ්‍රී ලංකා අධ්‍යාපන සේවය සඳහා තේරී පත්වූ හාර සිය දහ දෙනකු (410) ප්‍රතික්ෂේප කොට , ඒ වෙනුවට පරීක්ෂණ සඳහා පෙනී නොසිටි පුද්ගලයන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ලංකා ගුරු සංගමය අධිකරණයෙන් ඉල්ලා සිටී.

අදාළ පෙත්සමක් අද (බ්‍රහස්පතින්දා) අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.

පෙත්සම්කරුවන් පවසන්නේ අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමේ පරීක්ෂණයට අපේක්ෂකයන් තිස් හත් දහසක් 37000 සහභාගිවී ඉන් හාරසිය දහ දෙනකු (410) අදාල තනතුරු සඳහා තෝරා ගෙන ඇති බවයි.

දේශපාලන හිතවාදීන්

එසේ තේරී පත්වූ පිරිස් ප්‍රතික්ෂේපකොට, පරීක්ෂණ සඳහා ඉදිරිපත්නොවූ, රජයේ දේශපාලන හිතවාදීන් හත් සිය අසූ තුන් දෙනකු (783) අදාළ තනතුරු සඳහා බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා සූදානම් වන බවයි පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙන්නේ.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් සමස්ත අධ්‍යාපන ව්‍යුහයම බරපතල කඩා වැටීමකට ලක් විය හැකි බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් පැවසුවේය.