අසාද් සාලිගෙන් 'බලහත්කාරයෙන් කට උත්තර ගැනීමේ උත්සාහයක්'

Ameena Sally
Image caption සිය පියා දින අනූවක් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝගයක් නිකුත් කොට තිබෙන බව අමීනා සාලි සනාථ කළාය

ආහාර ගැනීම වර්ජනය කොට සිටින සිය පියාගේ අසාධ්‍ය තත්වය පිළිබඳව වහාම පියවර ගන්නා මෙන් ඉල්ලමින් ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියක් යැවූ බව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගෙන සිටින කොළඹ හිටපු උප නගරාධිපති අසාද් සාලිගේ දියණිය අමීනා සාලි පවසන්නීය.

එමෙන්ම ඔහු දින අනූවක් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝගයක් නිකුත් කොට තිබෙන බවද බීබීසී සංදේශය කළ විමසීමකදී ඇය සනාථ කළාය.

කිසියම් සැක කරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකොට දීර්ඝ කාලයක් රඳවා ගැනීම පිණිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රැඳවුම් නියෝගයක් නිකුත් කිරීමට ආරක්ෂක ලේකම්වරයාට බලය පැවරේ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආගමික උද්ඝෝෂණයක් පිණිස රැස්ව සිටි පිරිස ඇමතූ අමීනා සාලි, අද සිය පියා හමු වූ අවස්ථාවේ ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බව කියා සිටියාය.

මුස්ලිම් තරුණයෝ

මේ අතර අසාද් සාලිට අත් අඩංගුවේදී මානසික වධ බන්ධන පමුණුවා ඔහුගෙන් බලහත්කාරයෙන් කට උත්තරයක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවට චෝදනා කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් වැඩිදුරටත් සඳහන් කළේ, එය ඉතා භයානක ප්‍රවණතාවයක් බවයි.

ගංගාරාම විහාරස්ථානයේදී ඔහුට සෙත් පතා පැවති පූජාවකට සහභාගි වීමෙන් අනතුරුව අදහස් දැක්වූ නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න, මුස්ලිම් ජනතාව දිගින් දිගටම පීඩනයට ලක් වුවහොත් මුස්ලිම් තරුණයන් ආයුද අතට ගැනීමට ඉඩ තිබෙන බවට අසාද් සාලි ඉන්දීය සඟරාවකට කර තිබෙන ප්‍රකාශය වරදක් වන්නේ කෙසේදැයි ආණ්ඩුවෙන් විමසීමක් කරයි.

මේ අතර ඔහු අත් අඩංගුවට ගැනීම දේශපාලන පලි ගැනීමක් බවයි, එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයක් නොපවතින මොහොතක දේශපාලන නායකයන් මර්ධනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යොදාගැනීම කිසිසේත්ම පිළිගත නොහැකි බව පූජාවට එක්වී සිටි එජාප මහ ලේකම් තිස්ස අත්තනායක පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර