යාපන විශ්ව විද්‍යාලයේ 'භීතිය පැතිරිලා'

Jaffna students in a protest (fiule photo)
Image caption පොදු කටයුත්තකට සම්බන්ධ වුවහොත් පසුගියදා අත් අඩංගුවට පත්වූ ශිෂ්‍යයන්ට අත්වූ ඉරණම සිහිපත් කරමින් අනතුරු ඇඟවීම් ලැබෙන බව ශිෂ්‍යයෝ පවසති

හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යාපනය විශ්ව විද්‍යාලයේ කටයුතු මර්ධනය කරමින් සිටින බැවින් එහි සියලු ශිෂ්‍ය ක්‍රියාකාරකම් ඇණහිට තිබෙන බව ශිෂ්‍ය නායකයෝ පවසති.

යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් එම චෝදනාව එල්ල කළේ වවුනියාව මණ්ඩපයේ ශිෂ්‍ය සංවිධාන නියෝජිතයන් හමුවීම පිණිස වවුනියාවට පැමිණි අවස්ථාවේදී.

යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක හමුදාවල රහස් ඔත්තු සේවා සාමාජිකයන් නිරන්තරයෙන් විපරමින් සිටින බැවින් කිසිදු විෂය බාහිර ක්‍රියාකාරකමක යෙදීමට මතු නොව උපන් දින සාදයක් පැවැත්වීමට පවා ශිෂ්‍යයන් දැන් බියපත්ව සිටින බවයි, ඔවුන් පවසන්නේ.

කිසියම් ලෙසකින් ශිෂ්‍යයන් සමාජයීය හෝ පොදු කටයුත්තකට සම්බන්ධ වුවහොත් පසුගියදා අත් අඩංගුවට පත්වූ ශිෂ්‍යයන් සිවු දෙනාට අත්වූ ඉරණම සිහිපත් කරමින් විවිධ පාර්ශව හරහා තමන්ට අනතුරු ඇඟවීම් ලැබෙන බව ද නම හෙළිකිරීමට පවා බිය පළ කළ ශිෂ්‍ය නියෝජිතයෝ පිරිස කියා සිටියහ.

කෙසේ නමුත් යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සියලු යහපත් ක්‍රියාකාරකම්වලට හමුදාවෙන් බාධාවක් නැති බව බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර රුවන් වනිගසූරිය, යාපනයේ පවතින්නේ සිවිල් පරිපාලනයක් බැවින් පොලීසියේ කටයුතුවලට හමුදා සම්බන්ධ නොවන බව ද සඳහන් කළේය.