පළාත් සභා බලතල ඉවත් කිරීමට මුස්ලිම් කොන්ග්‍රසය 'විරුද්ධයි'

Sri Lanka Muslim Congress
Image caption උතුරු පළාත් සභා මැතිවරණයේදී ස්වාධීනව තරඟ වදින බව මහ ලේකම්වරයා පවසයි

පළාත් සභාවලට විමධ්‍යගත බලතල ඉවත් කෙරෙන ආකාරයේ කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට තම පක්ෂය සහාය නොදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.

පළාත් සභාවල ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කරමින් 19 වැනි සංශෝධනයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බවට පළ වන වාර්තා පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රධාන ලේකම් හසන් අලි, 13 වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට ලබා දී තිබෙන බලතලද ප්‍රමාණවත් නොවන බව තම පක්ෂයේ මතය බව අවධාරණය කළේය.

දෙවරක් ධූරය හෙබැවූ ජනාධිපතිවරයෙකුට යලි ජනපති පදවියට තරඟ වැදීමට බලය හිමිවන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයටද මුස්ලිම් කොන්ග්‍රසය විරෝධය පළ කළ අවස්ථාවේ ජනාධිපතිවරයා තමන්ට දුන් ප්‍රතිඥා තවමත් ඉටු කොට නොමැති බැවින් නවතම සංශෝධනයට පක්ෂය කිසිසේත්ම සහාය නොදෙන බවයි, හසන් අලි බීබීසී දෙමළ සේවයට කියා සිටියේ.

'ස්වාධීනව තරඟ වදිනවා'

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂයේ නායක රවුෆ් හකීම්ට සිදුවුවත් පක්ෂය එයට දැඩි විරෝධය පළ කරන බව ඔහු පැවසීය.

කෙසේ නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලින් ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කරන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් අවසාන තීන්දුවකට එළැඹී නොමැති බව ආර්ථික සංවර්ධන කටයුතු පිලිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජනමාධ්‍යවලට පවසා තිබුණි.

එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණයේදී මුස්ලිම් කොන්ග්‍රසය ස්වාධීනව තරඟ වදින බවද මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා බීබීසීයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර