පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් එජාපයේ විවේචනයට ලක්වේ

Kamalesh Sharma (file photo)
Image caption සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ ආණ්ඩුව පමණක් නොව ශ්‍රී ලංකාව බව එජාපය පවසයි

ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ආණ්ඩුව සමඟ පමණක් සාකච්ඡා කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය (එජාප) පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා විවේචනයට ලක් කරයි.

සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ ආණ්ඩුව පමණක් නොව ශ්‍රී ලංකාව බව පවසන එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ විපක්ෂය සහ සිවිල් සංවිධාන සමඟද සාකච්ඡා කිරීම පොදු රාජ්‍ය මණ්ඩලයේ වගකීමක් බවයි.

සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව තම පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් නැති බව අවධාරණය කරන ඔහු, කෙසේ නමුත් සමුළුවට මුවාවී සුඛෝපභෝගී වාහන ගෙන්වීම ඇතුළු ජාතික ධනය වියදම් කරමින් නාස්තිය "බරපතල ප්‍රශ්නයක්" බවද පවසයි.

පළාත් සභා ඡන්දයට 'බයයි'

මේ අතර සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා ඡන්දයට "බියෙන්" එය කල් දමා ගැනීම පිණිස ආණ්ඩුව විමල් වීරවංශ වැනි ඇමතිවරුන් යොදාගෙන "බළලුන් ලවා කොස් අට බාවමින්" සිටින බවද තිස්ස අත්තනායක කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

උතුරු පළාත් සභා මැතිවරණය රට බෙදීමේ උත්සාහය පියවර ලෙසින් හඳුන්වාදෙන වීරවංශ අමාත්‍යවරයා එම ඡන්දය පැවැත්වීමට පෙර පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කළ යුතු බව පවසයි.

එහෙත් පාලක සන්ධානයේ හවුල්කාර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය එම ඉලීමට දැනටමත් විරෝධය පළ කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර