බුද්ධාගම පමණයි පිළිවෙත ව්‍යවස්ථා විරෝධියි

ශ්‍රී ලංකාව සිංහලයන් සහ බෞද්ධයන් සඳහා පමණක් උරුම වූ රටක් ලෙස අන්තවාදී බෞද්ධ සංවිධාන ගෙනයන ප්‍රචාර නැවත්වීමට පියවර ගත යුතු යයි සමස්ත ලංකා හින්දු මහා සංගමය රජයෙන් ඉල්ලා සිටී.

රටේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දී ඇතිවාක් මෙන්ම අනිකුත් ආගම් ඇදහීමේ අයිතියද සහතික කර ඇති බවයි හින්දු මහා සංගමයේ සභාපති කන්දයියා නීලකන්ඩන් අධිනීතිඥ වරයා කියා සිටියේ.

බුද්ධාගම සඳහා පමණක් වන පිළිවෙතක් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දෙයි.

සිංහල පමණක් ප්‍රතිපත්තිය

සිංහල පමණක් ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවට රටක් වශයෙන් තිස් වසරකට වැඩි කලක් පීඩා විඳි බව ප්‍රකාශ කරන හින්දු මහා සංගමයේ සභාපති වරයා, ආගමික වෛරය ඇවිස්සීමත් රටේ නීතියට පටහැනි බව කියා සිටියේය.

බීබීසී දමිළ සේවයේ ජෙයප්‍රකාෂ් නෙල්ලුසාමි හා සාකච්ඡාවකට එක්වෙමින් කන්දයියා නීලකන්ඩන් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් රජයේ මෙන්ම විපක්ෂයේද අවධානයට යොමු කොට ඇති බව.

"අවුරුදු තිහක් තිස්සේ තිබුණු සිංහල පමණක් ප්‍රතිපත්තිය නිසා රට බරපතල පීඩාවට පත් වෙලා තියෙනවා. බුද්ධාගම පමණයි කියන ප්‍රචාරය හා ප්‍රතිපත්තිය ඔසවා තැබුවොත් රටට බරපතල ප්‍රතිවිපාක විඳින්නට සිදුවේවි."

බලයේ සිටින ඇතැමුන් මේ අන්තවාදී ව්‍යාපාරයට අකමැති බව සාකච්ඡා වලදී තමනට වැටහී ගොස් ඇතැයි පැවසු සමස්ත ලංකා හින්දු මහා සම්මේලනයේ සභාපතිවරයා රජය මෙම පිළිවෙත අනුමත නොකරනු ඇතැයිද විශ්වාසය පළ කළේය.