වැරදි කළ භික්ෂූන් වහන්සේට දඬුවම් නෑ - ඇමෙරිකාව

Image caption සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් තිබූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ රජය ප්‍රසිද්ධියේ ආගමික නිදහස අනුමත කළත්, ප්‍රායෝගිකව ඇතැම් ක්ෂේත්‍ර වල ගැටළු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඉකුත් වසර සඳහා වන වාර්තාව නිකුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තියානි දේවස්ථාන, හින්දු කෝවිල් හා ඉස්ලාමීය පල්ලි වලට එල්ල වන ප්‍රහාර විභාග කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට හෝ බලධාරීන් මැලි බවයි.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සහතික කෙරෙන අන්දමේ ආගමික නිදහසක් රට තුල ක්‍රියාත්මක වුවත්, සදාචාරයට පටහැනි අන්දමින් හෝ බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීම පිළිබඳව චෝදනාවට ලක්වූ ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් වලට එරෙහි ප්‍රචණ්ඩ ප්‍රහාර 2012 වසර තුලදීද දක්නට ලැබුණු බවත් වාර්තාවේ සඳහන්.

එසේ වුවද එවැනි ප්‍රහාරයන් ඊට ඉහත වසරට වඩා අඩුවෙන් වාර්තාවී ඇති බවද ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව ප්‍රකාශ කරයි.

බෞද්ධ කණ්ඩායම්වල ප්‍රහාර

අදාල වසර තුළ මෙම ප්‍රහාර පිලිබඳ පැමිණිළි පනහකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි, එහි තවදුරටත් සඳහන් වන්නේ.

Image caption ආගමික සිද්ධස්ථානවලට එල්ල වන ප්‍රහාරවලට වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට බලධාරීන් මැලි බව වාර්තාව පවසයි

2012 වසර තුල සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් තිබූ බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ධර්ම ප්‍රචාරක ක්‍රිස්තියානි නිකාය වලට අයත් දේවස්ථාන ලියා පදිංචි කිරීමට අපහසු වන අන්දමේ බාධක පිළිබඳව මෙම කණ්ඩායම් පැමිණිලි කර ඇති අතර ජාතික ක්‍රිස්තියානි සභාවේ සාමාජිකත්වය නොලද කුඩා ක්‍රිස්තියානි නිකාය, ආගමික කටයුතු අමාත්‍යංශයේ පුණ්‍ය ආයතන ලෙස ලියාපදිංචි කිරීම අපහසු ක්‍රියාදාමයක් වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කරයි.

උතුරු ප්‍රදේශයන්හි පැවැති යුද වාතාවරණය නිමා වීමෙන් පසු, ප්‍රධාන වශයෙන් හින්දු භක්තික දෙමල වැසියන් දිවි ගෙවන මෙම ප්‍රදේශයන්හි ආරක්ෂක හමුදා අනුග්‍රහයෙන් බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීම 2012 වසර තුල ඉහල ගොස් තිබෙන බවත් එහි සඳහන්.

මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ආයතන සහ ලබ්ධිකයන්ට එරෙහි ප්‍රහාරයනට වගකිවයුතු බවට චෝදනාවට ළක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේට දඬුවම් ලබාදීමට බලධාරීන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව අවධානය යොමු කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර