භික්‍ෂුවකට පහරදුන් බවට බොදු බල සේනාවට චෝදනා

බොදු බල සේනා මුලස්ථානය ඉදිරිපිටදී එම සංවිධානයට අයත් හිමි නමක් තමනට පහරදුන් බව මැලැව්වේ කල්‍යාණ ධම්ම හිමි ප්‍රකාශ කරයි.

තමන් යටතේ වැඩ වසන සාමණේර හිමිවරුන්ගේ කුලය පිලිබඳ ඇතිවූ මතභේදයකින් පසු, වැඩ සිටි විහාරස්ථානයෙන් පළවා හැරීමට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මැරබලය යොදමින් මරණීය තර්ජන කළ බවයි කල්‍යාණ ධම්ම හිමි සංදේශයට ප්‍රකාශ කළේ.

පදිංචියට පන්සලක්

"කුලය පදනම් කරගනිමින් සාමණේර හිමිවරු ලියා පදිංචි කිරීම පිළිබඳව නායක හාමුදුරුවන් සමග ඇතිවූ මත ගැටුමකින් පසුව, බලහත්කාරයෙන් මැදිහත්වුණු ඥාණසාර හිමියන් මාව පන්සලෙන් පන්නා දම්මා. සාමණේර හිමිවරුත් රෑගෙන මම දැන් ඉන්නේ ගෙදෙරක කාමරයක් කුලියට අරගෙන. ගෝල හිමිවරුන් එක්ක මම ආවේ පදිංචියට පන්සලක් හොයා දෙන ලෙස ඉල්ලා සිටීමටයි." යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.

මෙම පහර දීමේදී තමනට දතක් අහිමි වූ බවයි රෝහලේ සිට සංදේශය හා කතා කළ මැලැව්වේ කල්‍යාණ ධම්ම හිමි ප්‍රකාශ කර සිටින්නේ.

පහර දුන් හිමිනම පොලීසියෙන් හඳුනාගෙන ඇති බව කල්‍යාණ ධම්ම හිමි ප්‍රකාශ කලත්, බම්බලපිටියේ දී බෞද්ධ භික්ෂුවකට පහරදීමක් පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවයි ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සංදේශයට ප්‍රකාශ කළේ.

අනවශ්‍ය ප්‍රශ්න

විහාරස්ථානයෙන් පිට කාමරයක ජීවත්වීම පිළිබඳව සිද්ධියට සම්බන්ධව කල්‍යාණ ධම්ම හිමියන්ට අවවාද කළ බව පිළිගත් ඥාණ සාර හිමියෝ තවත් විටෙක ප්‍රකාශ කළේ මැලැව්වේ කල්‍යාණ ධම්ම හිමි නොහඳුණන බවයි.

එම පහර දීම පිළිබඳව සංදේශය හා සිදුකෙරුණු සාකච්ඡාවේදී, ගැටුමක් නැති තැනක "මාධ්‍ය වලින් අනවශ්‍ය ප්‍රශ්න" ඇති නොකළ යුතු බව පැවැසූ බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ දුරකථනය විසංධි කළහ.