ඉන්දරතන හිමියන්ගේ දේහය ඉල්ලා උද්ඝෝෂණ

වෙසක් දා මහනුවරදී සිරුරට ගිනි අවුළුවා ගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් කොළඹ මහ රෝහලේදී මිය යාමෙන් අනතුරුව විරෝධතා කරුවන් සමග භික්ෂුන් වහන්සේ අගනුවර පැමිණීමෙන් බොරැල්ලත්, කොල්ලුපිටියත් නොසන්සුන් ස්වභාවයක් ඉසිලීය.

බොරැල්ලේදී භික්ෂු සංඝයා වහන්සේ ප්‍රමුඛ පිරිසක් ඉරිදා විරෝධය දැක්වුයේ අපවත්වූ ඉන්දරතන හිමියන්ගේ දේහය ගම් පලාතට ගෙන යාමට විරුද්ධව.

දේහය කහවත්ත බලා ගෙන යාමට පියවර ගැනීම උද්ඝෝෂකයන් අතර සිටි 'සිංහල රාවය' සංවිධානයේ භික්ෂුන් වහන්සේ නමක් විසින් හඳුන්වනු ලැබුයේ 'දේශපාලන උවමනාවකින් කරන ලද කටයුත්තක්' ලෙසින්.

උන්වහන්සේත් පැමිණි සිටි පොලිස් නිලධාරීන් අතරත් ගැටුම්කාරී තත්වයක් ඇතිවු අතර, තවත් ස්වාමීන්වහන්සේ නමක්, 'තවත් දේ අහිමි කර නොගෙන,' ඉවත්ව යාමට විරෝධතා කරුවන්ට යෝජනා කිරීම බොරැල්ලේ පුද්ගලික අවමංගල ශාලාවක් අසලදී වචන හුවමාරුවකට මග පෑදීය.

රජයට 'සන්දේශයක්'

බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනිතබා ගැනීමට පළමු ප්‍රකාශයට පත් කළ ඉල්ලීම් කිහිපයක් විරෝධතා කරුවන් විසින් ඉන් අනතුරුව පෙළපාලියෙන් ගොස් අරලිය ගහ මන්දිරයේදී සන්දේශයකින් භාර දී තිබේ.

බුද්ධ සාසන අමාත්‍යංශ ලේකම් වරයාටත්, මහා භාරකාර වරයාටත් තම ඉල්ලීම් භාර දී පෙළපාලි කරුවන් පෙරලා යද්දී කොල්ලුපිටිය මංසන්ධිය අසලදී මස් අලෙවි හල් කීපයකට හානි පැමිණවීම කලබලකාරී තත්වයකට මග පාදා තිබේ.

හෙළ උරුමයේ විරෝධය

එතැනට මැදිහත්වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනකුටද සුළු තුවාල සිදුවූ බව පොලිසිය මාධ්‍ය වේදීන්ට ප්‍රකාශ කොට තිබුණි.

සිය දිවි නසාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් 2011 සිට පැල්මඩුල්ල ප්‍රාදේශීය සභික ධුරයක් හෙබවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය නියෝජනය කරමින්.

උන්වහන්සේගේ දේහය කහවත්තට ගෙනයාම පිළිබඳව එම පක්ෂයේ මහලේකම් වරයා නොසතුට පළ කළේය.

කොළඹදී අවසන් කටයුතු පැවැත්වීම වැලැක්වීමට 'කවුරුන් හෝ' කටයුතු කළේ නම් තමන් ඊට විරෝධය පළ කරන බවයි, පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කොළඹදී මාධ්‍ය වේදීන් අමතා කියා සිටියේ.