ධනවත් සැකකරුවන්ට 'නීතිපතිගෙන් ලිහිල් ආකල්පයක්'

Namal Rajapaksha, lawyer
Image caption "සල්ලිකාරයන් නිදහස් කොට දෙමළ ජාතිය එක්ක සංහිඳියාව ඇති කර ගන්න බැහැ"

ධනවත් හා ආණ්ඩුවට සහාය දක්වන දේශපාලන සැකකරුවන් සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී පිළිවෙතක් රජය විසින් අනුගමනය කරන වගට මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කරයි.

එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ යයි චෝදනා නගා අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් නිදහස් කර යැවීමේදී නීතිපතිවරයා 'සල්ලිකාර' සැකකරුවන් හට 'ලිහිල් බවක්' දක්වන බවයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ චෝදනාව.

එම ව්‍යාපාරයේ කැඳවුම්කරු නාමල් රාජපක්ෂ නීතිඥවරයා ඊට උදාහරණ ලෙස ගෙන හැර දැක්වුයේ එල්ටීටීඊ නායකයාගේ සමීප සගයෙකු බවට රජය ලෙසින් හැඳින්වෙන අයකුට එක් මසක සිර දඬුවමකින් අනතුරුව පුනරුත්ථාපනය සඳහා භාරදීමට නීතිපති වරයා එකඟ වීමයි.

'පොඩි' සැකකරුවන්

අධිකරණය විසින් එම දඬුවම පනවනු ලැබුයේ පස් වසරකට වැඩි කලක් රඳවාගෙන සිටි ගුණසුන්දරම් ජෙයසුන්දරම් කොටි සංවිධානයට අවි ආයුධ සැපයූ බවට නගනු ලැබූ චෝදනා සම්බන්ධයෙන් වරද පිළි ගැනීමෙන් අනතුරුවයි.

ඔහු ධනවතකු නොවී නම් 'තවමත් රක්ෂිත භාරයේ' සිටිනු ඇති බවයි නීතිඥ නාමල් රාජපක්ෂ පවසන්නේ.

"සල්ලිකාරයන් නිදහස් කොට දෙමළ ජාතිය එක්ක සංහිඳියාව ඇති කර ගන්න බැහැ," යි ඔහු පවසයි.

මෙහිදී බීබීසී සංදේශයේ කේ එස් උදයකුමාර් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම් කරු හට සිහිපත් කර දුන්නේ වරද පිළි ගන්නා අයටත්, ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරන අයටත් ලිහිල් අයුරින් සැලකීමේ පිළිවෙතක් රජය අනුගමනය කරන බව නීතිපති පාලිත ප්‍රනාන්දු විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කොට සිටීම ගැනයි.

වරද පිළිගැනීමට සූදානම් බොහෝ 'පොඩි' සැකකරුවන් සිටියත් ඒ සඳහා ඔවුනට අවස්ථාවක් සලසා දී නැති බවයි නීතිඥ නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් දැනගැනීමට සංදේශය ගත් උත්සාහය සාර්ථක වුයේ නැහැ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර