රජයේ ණය තවත් ඉහළට

Lanka Rupee

සංවර්ධන කටයුතු සඳහා දේශීය බැංකු වලින් ණය ලබාගැනීම වඩාත් වාසිදායක බැවින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දේශීය බැංකුවලින් ණය ලබා ගැනීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

මාර්තු මාසය තුලදී පමණක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වියදම් පියවා ගැනීමට දේශීය බැංකු වලින් රුපියල් බිලියන සියයක් පමණ ණය ලබා ගෙන තිබේ.

මෙම ප්‍රවණතාවය හේතුවෙන් පොලී අනුපාත ඉහළ ගොස් පුද්ගලික අංශයට ආයෝජනය කිරීමට ලැබෙන ඉඩ ප්‍රස්ථා සීමා වන බැවින් ආර්ථිකයේ වර්ධන වේගය අඩාල විය හැකි බව ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවියේ සංස්කාරක අසන්ත සිරිමාන්න බීබීසී සංදේශයට පැවසීය.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා වන ඉන්ධන සහ විදුලිබල සේවා සැපයුම බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා ආණ්ඩුවට දේශීය බැංකු වලින් ණය ලබා ගැනීමට සිදුවී ඇති බවයි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සංදේශයට කියා සිටියේ.

එමගින් දේශීය බැංකු කෙරේ පීඩනයක් එල්ල කරන බව අමාත්‍යවරයා පිළිගත්තේය.

ලංකා බැංකුව, ඛනිජ තෙල් සංස්ථාවට තමන්ගේ මුළු ණය වලින් සියයට විස්සක් පමණ ලබා දී ඇති බව පෙන්වා දෙන ණය ශ්‍රේණි ගත කරන ෆිච් සමාගම,මෙම තත්ත්වය වැඩිදුර වර්ධනය වීම ආර්ථිකයට අහිතකර විය හැකි බවද පවසයි.

එක් ආයතනයකට සම්මත අනුපාතය ඉක්මවා ණය ලබාදීම ගැටළු ඇති කළ හැකි බව අසන්ත සිරිමාන්නගේ අදහසයි.

විදුලිය මිළ ඉහළ දැමීම වැනි ක්‍රියා මාර්ග වලින් මෙම තත්ත්වය පාලනය කිරීමට ගන්නා උත්සාහයන් වලින් රාජ්‍ය ආයතනවල ණය බර අඩු කර ගැනීමට ඉඩක් ලැබෙන බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.