ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා නියම සමාජ සේවකයෙක් - තිස්ස අත්තනායක

අභාවප්‍රාප්ත ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා නියම සමාජ සේවකයෙකු සහ මානව දයාවෙන් යුතුව ක්‍රියා කළ පුද්ගලයකු යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කරයි.

වෛද්‍යවරයකු වශයෙන් විශාල සේවයක් ඉටු කළ ඔහු , ද්‍රවිඩ ජනතාව ඇතුළු සුළු ජන කොටස්වල අයිතීන් වෙනුවෙන් හැම විටම සටන් කළ බවත් ඔවුන්ගේ ගැටළු පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සැසි වාරවලට පවා ගෙන ගිය බවත් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඒ නිසාම, ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාට රජය කොටි ලේබලය ඇලවීමට උත්සාහ කළ බව පැවසූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ ඔහු කිසිවිටෙකත් එල්ටීටීඊ සංවිධානයට උදව් කළ පුද්ගලයකු නොවන බවයි

ජයලත් ජයවර්ධන මන්තීවරයා තුළ තිබූ සුවිශේෂී ලක්ෂණය වූයේ ඔහු තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සීවීම බව කියා සිටි තිස්ස අත්තනායක මහ ලේකම්වරයා කිසිවිටක ඔහු වරප්‍රසාද වෙනුවෙන් සටන් කළ අයකු නොවන බව පැවසුවේය.

ඔහුට රජයට එකතුවන ලෙස නොයෙක් විට ආරාධනා ලැබුනත් තනතුරුවලට හෝ වරප්‍රසාද වලට තම මන්ත්‍රීකම නොවිකුණු පුද්ගලයකු හැටියට ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා හැඳින්විය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

ජාතික සේවක සංගමය මගින් වෘතීය අයිතිවාසිකම් වෙනුවෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහ ජාත්‍යන්තර මට්ටමින්ද හඬ නැගූ ජයලත් ජයවර්ධන මන්තීවරයා නිළ වශයෙන් හෝ නොනිළ මට්ටමින් පොදු රාජ්‍ය මණ්ඩලීය සහ අන්තර් පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීම අඛණ්ඩව සිදු කළ බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටියේය.

1994 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

මිය යන විට ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් ධුරය හෙබ වීය.