ඉන්දියාවේදී පැහැරගත් ව්‍යාපාරික යුවල නිදහස්

කොළඹ සිට චෙන්නායි ගුවන් තොටුපොළට ළඟාවූ අවස්ථාවේ පැහැර ගනු ලැබූ යුවලක් සොයා ගැනීමට සමත් වූ බව තමිල්නාඩු පොලිසිය පවසයි.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත එම යුවළ බ්‍රිතාන්‍ය පුරවැසියන්.

ලන්ඩනයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන තවරාජා සහ බිරිය සලාජා චෙන්නායි නුවරට පැමිණ ඇත්තේ වන්දනාව සඳහා.

නවාතැන් ගැනීමට නියමිත හෝටලයෙන් එවන ලදැයි පවසා ගුවන් තොටුපලේදී රියකට නංවා ගන්නා ලද යුවල ගෙන ගොස් ඇත්තේ කිලෝමීටර එකසිය හැටක් දුර පිහිටි පුදුචේරි වෙත.

'මහ මොළ කාරයා'

යුවල පැහැර ගත් කණ්ඩායම ඉන් අනතුරුව ලන්ඩනයේ සිටින ඔවුන්ගේ දියණියට කතා කොට බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ පහක කප්පමක් ඉල්ලා තිබුණි.

එම දුරකථන අංක අනුව හඹා යාමෙන්, පැහැර ගැනීම සිදුකරන ලද කල්ලිය අල්ලා ගත් බවයි, පොලිසිය පවසන්නේ.

එම අපරාධය සම්බන්ධයෙන් තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් කීපදෙනකුත් ඇතුළත්, නවදෙනකුගෙන් යුත් සම්පුර්ණ කල්ලියම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

වෙළෙඳ ව්‍යාපාරික තවරාජා සතු ලන්ඩනයේ වෙළෙඳ සලේ සේවකයකු කප්පම් සඳහා යුවල පැහැර ගැනීමේ සැලසුමේ 'මහ මොළ කාරයා' බවයි චෙන්නායි පොලිස් කොමසාරිස් එස්. ජෝර්ජ් සඳුදා මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කළේ.