විනිසුරු අත් අඩංගුවට ගත් ක්‍රමය වැරදියි - අධිකරණය

Bribe
Image caption පක්‍ෂග්‍රාහී ලෙස නඩු තීන්දුවක් ලබා දීම සඳහා අල්ලස් ඉල්ලා සිටි බවට දිසා විනිසුරු සුනිල් විජේසිංහ චෝදනා ලබා සිටී

හෝමාගම දිසා විනිසුරුවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අත් අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම ක්‍රියා කළ ආකාරය පිලිබඳ කණගාටු වන බව අධිකරණය පවසයි.

දිසා විනිසුරු සුනිල් අබේසිංහ සම්බන්ධ පරීක්ෂණ කටයුතු අධිකරණයට අපහාසයක් නොවන අන්දමින් ස්වාධීනව පවත්වන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අල්ලස් කොමිසමට නියෝග කළේය.

"අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉතා අධි වේගයෙන් මේ නිලධාරියාව අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කළා මිස ස්ථිර පරීක්ෂණයක් කළා නම් මේ විනිසුරුවරයා අත් අඩංගුවට ගන්නේ නෑ," යනුවෙන්, විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිවේදී හේමන්ත වර්ණකුලසූරිය බීබීසී සංදේශයට කියා සිටියේය.

පක්‍ෂග්‍රාහී ලෙස නඩු තීන්දුවක් ලබා දීම සඳහා සැකකාර විනිශ්චයකාරවරයා ඉඩම් නඩුවක පැමිණිලිකරුවකු ගෙන් රුපියල් ලක්ෂ තුනක් අල්ලස් මුදලක් ඉල්ලා සිටි බවට දිසා විනිසුරු සුනිල් විජේසිංහ චෝදනා ලබා සිටී.

'පහර දීලා'

අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් සිදුවීමට අදාළ පරීක්ෂණ තවමත් නිමා වී නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන මෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත්, එම ඉල්ලීමට විරෝධය පළ කළ විත්තියේ නීතිවේදීන් සැකකාර පොලිස් නිලධාරියාට පහර දී විනිසුරුවරයා අල්ලස් ලබාගත් බවට ඔහුගෙන් බලහත්කාරයෙන් කට උත්තරයක් ලබා ගෙන ඇති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන්ට චෝදනා කළේය.

සැකකාර විනිශ්චයකාරවරයාට පවා තර්ජනය කොට එම ප්‍රකාශයට ඔහුගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන ඇති බවටද විත්තියේ නීතිවේදීහු චෝදනා කළහ.

එහිදී අදහස් දැක්වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විනිශ්චයකරුවකු අත් අඩංගුවට ගැනීමේදී අල්ලස් කොමිසම මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබූ බව කියා සිටියේය.

දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළ අධිකරණය, සැකකරුවන් ලබන 10 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර