දෙමළ ජනතාවට පමණක් ඉඩම් දීමට විරුද්ධයි - හෙළ උරුමය

Minister Champika Ranawaka
Image caption "පළාත් සභාවල තිබෙන විෂකුරු ගතිය අඩු වන ඕනෑම පියවරකට සහාය දෙනවා"

උතුරු නැගෙනහිර පලාත්වල ඉඩම් අයිතිය දෙමළ ජනතාවට පමණක් වෙන්විය යුතු බවට කෙරෙන ඕනෑම යෝජනාවකට දැඩි විරෝධය පළ කරන බව ජාතික හෙළ උරුමය පවසයි.

පක්ෂයේ ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා එම අදහස් පළ කළේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට ලබා දී තිබෙන පොලිස් සහ ඉඩම් බලතල ඇතුළු ඇතැම් බලතල ඉවත් කල යුතු බව යෝජනා කරමින් පක්ෂය ඉදිරිපත් කොට තිබෙන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධවේදීන් හමුවේ කරුණු දක්වමින්.

තම යෝජනාව පිළිබඳව සෑම දේශපාලන පක්ෂයක්ම, සියලු ජාතික සංවිධාන සහ රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ පවා සාකච්ඡා පැවැත්වීමට තම පක්ෂය සූදානම් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

'නම්‍යශීලීයි'

"අපි මේ ප්‍රශ්නයේදී අතිශයින් විවෘතයි, අතිශයින් නම්‍යශීලීයි මේ සම්බන්ධ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න," යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් සභාවල තිබෙන "විෂකුරු ගතිය" අඩු වන ඕනෑම පියවරකට තම පක්ෂයේ සහාය හිමිවන බවද ජාතික හෙළ උරුමය පවසයි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් ඉදිරිපත් කොට තිබෙන යෝජනා පිළිබඳව අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියෝ, තමන් විසින්ම නිර්මාණය කරන ලද 1978 ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව එම පක්ෂය විසින්ම තීරණය කිරීම පිළිබඳව සතුටු වන බව සඳහන් කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර