අයහපත් කාලගුණයෙන් පස් දෙනෙක් මිය යති - 31 දෙනෙක් අතුරුදහන්

කොළඹ සිට දිවෙන දකුණු මුහුදු තීරයේ පවතින සැඩ සුළඟ සහ වර්ෂාව සහිත අහිතකර කාලගුණය හේතුවෙන් පස් දෙනකු මිය ගොස් 31 දෙනකු අතුරු දහන් වී ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මේ වන විට අනතුරට පත් ධීවරයන් 12 දෙනකු බේරා ගෙන තිබේ.

ධීවර බෝට්ටු විස්සකට අධික සංඛ්‍යාවක් ද අතුරුදහන් වී ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසුවේ.

නාවික හමුදාව දිගටම බේරාගැනීමේ කටයුතුවල නිරතව සිටින අතර ඉරිදා දිනයේත් මුහුදු නොයන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදු කොට තිබේ.

මුහුදේ දී අනතුරට පත් ධීවරයින් බේරා ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අද සෙනසුරාදා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කොට තිබිණ.

ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යෙදවූ අතර නාවික හමුදාව ධීවරයින් බේරා ගැනීම සඳහා නාවික යාත්‍රා 3 ක් යොදවා ඇත.

අහුන්ගල්ල පොලිස් වසමේ එක පුද්ගලයකු මිය ගොස් දාහත් දෙනකු අතුරුදහන් වී ඇති බව පොලීස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බෙන්තොට, ගාල්ල සහ බේරුවල යන පොලිස් වසම්වල එක් පුද්ගලයකු බැගින් මිය ගොස් ඇති බවත් පොලීස් මූලස්ථානය නිවේදනය කළේය.

කොල්ලුපිටිය මුහුදු ප්‍රදේශයේදී හා බේරුවලදී විපතට පත් ධීවරයින් බේරා ගැනීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොටර් යානයක් යොදාවා තිබිණ.

මුහුදු ගොස් අනතුරට පත් ධීවරයන් බේරා දෙන ලෙස ඉල්ලා ධීවර ජනතාව දෙහිවල දුම්රිය මාර්ගයේ විරෝධතාවයක නිරතව සිටියහ.

නිරිත දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම නිසා හටගෙන ඇති කුණාටු සහිත අහයපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ සිකුරාදා ධීවර ජනතාව දැනුවත් කළ නමුත් ඇතැම් පිරිස් අනතුරුදායක් තත්වයන් ඇති බව දැන දැනත් මුහුදු ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුවේ පූරෝකථන භාර අධ්‍යක්ෂ එස්.ආර්.ජයසේකෙර පැවසුවේ.

එහෙත් ධීවර ජනතාව පවසන්නේ මාධ්‍ය මගින් එවැනි දැනුම් දීමක් නොකළ බවයි.

කුණාටු සහිත කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් වෙරළාසන්නයේ මෙන්ම දිවයින අභ්‍යන්තරයේ පළාත් ගණනාවක ගමනා ගමන කටයුතු ඇනහිටී අතර විදුලිය විසන්ධිවීම ඇතුළු ගැටළු ගණනාවක්ම තමන්ට වාර්තාවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේය.