මිරිස් වත්කොට වද හිංසා කිරීම නවත්වන්න - ජනපතිට ඉල්ලීමක්

Red chillie
Image caption මිරිස් දියකළ වතුර සැකකරුවෙකුගේ ලිංගේන්ද්‍රියට වත් කොට වද හිංසාවට ලක් කර ඇති බව මානව හිමිකම් කොමිසම පවසයි

පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මිරිස් භාවිත කර වද හිංසා කිරීමේ පිළිවෙත නැවැත්වීමට මැදිහත් වන ලෙසට මානව හිමිකම් සංවිධානයක් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි.

වලිපැන්නේ පදිංචි නිලුපුල් ඉන්දික නම් පුද්ගලයෙක් මතුගම පොලිසිය විසින් හේතු රහිතව අඩංගුවට ගෙන, කොච්චි මිරිස් දියකළ වතුර ඔහුගේ ඇස් සහ ලිංගේන්ද්‍රියට වත් කොට වද හිංසාවට ලක් කර ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේය.

වෘත්තියෙන් අභ්‍යන්තර අලංකරණ ශිල්පියෙකු වූ ඉන්දික අත් අඩංගුවට ගෙන තිබෙන්නේ, ඔහු සේවය ලබා දුන් නීතිඥ නිවසෙන් ඇඹරුම් යන්ත්‍රයක් නැතිවූ පසුව බවයි, ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ.

අදාළ කරුණ සම්බන්ධව කටයුතු කිරීමට ආයතන හා කොමිසම් රැසක් රටේ තිබියදී, මෙම ඉල්ලීම ජනාධිපති තුමාට යොමුකරන්නේ මන්දැයි විමසූ විට බැසිල් ප්‍රනාන්දු කියා සිටියේ මෙවැනි සිදුවීම් රැසක් ගැන මිට පෙරත් එවැනි ආයතන රැසකටම දැනුම්දී ඇති නමුත් එයින් කිසිම ප්‍රතිඵලයක් අත් නොවන බවයි.

2006 දක්වා තම ආයතනය විසින් එසේ කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් එකල නීතිපතිවරයා විසින් කටයුතු කර වද හිංසා පැමිණවූ නිලධාරීන්ට විරුද්ධව නඩු හැටක් පමණ පවරා තිබූ දැන් ඒවා සිදු නොවන බවත් බැසිල් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේය.

නිලුපුල් ඉන්දිකගේ මිත්‍ර අයර්ලන්ත ජාතියෙකු ගේ මැදිහත් වීම නිසා, පොලිස්පතිවරයාට ඔහු නිදහස් කරන්නට උපදෙස් ලබාදීමට සිදුවී තිබෙන බව බැසිල් ප්‍රනාන්දු කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර