රැකවරණ ඉල්ලා පැමිණි අය පිළිබඳ ඕස්ට්‍රේලියානු පිළිවෙත විවේචනයට ළක් වෙයි

Image caption රැකවරණ ඉල්ලා ශ්‍රී ලංකාවෙන් පැමිණි අය අතරින් දහසකට අධික පිරිසක් යළි කොළඹට

ඕස්ට්‍රේලියානු වෙරළ ආසන්නයේ ක්‍රිස්මස් දුපත අසලදී අනතුරට ලක්වූ බෝට්ටුවක පැමිණි පනහකට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුහුදුබත්වී ජීවිතක්‍ෂයට පත්වන්නට ඇති බවයි එරට බලධාරීන් සැක පහල කරන්නේ.

සතියකට පෙරදීද මේ ආකාරයෙන් සිදුවූ අනතුරකින් තවත් ශ්‍රී ලාංකිකයින් පනස් දෙනෙකුගේ ජීවිත අහිමි විය.

අපේක්ෂා නොකළ අන්දමින් ශ්‍රී ලාංකිකයින් ඇතුළු දහස් ගණනක් විදේශිකයින් ඔස්ට්‍රේලියාව වෙත ගලා ඒම තුල එරට බලධාරීන් මේ අන්දමින් නීති විරෝධී ලෙස පැමිණෙන විදේශිකයින් පිළිබඳ දක්වන ප්‍රතිචාරය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම ඔස්ට්‍රේලියාවේ සංවිධාන ගණනාවක විවේචනයට ලක්වී ඇත.

රැකවරණ සඳහා පැමිණෙන විදේශිකයන් අතරින් බහුතරයක් හැකි ඉක්මනින් පෙරලා යැවීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව, පෙරලා ශ්‍රී ලංකාවට යැවුණු පිරිස එක්දහස් දෙසියයකට වැඩි බවයි ගණන් බලා තිබෙන්නේ.

අසාධාරණ අධි පරීක්ෂා වැඩ පිළිවෙල

මෙම යුහුසුළු පෙරලා යැවීමේ ක්‍රියා දාමය සඳහා යොදා ගැනෙන අධි පරීක්ෂා වැඩ පිළිවෙල අතිශයෙන් අසාධාරණ බව පවසන ඕස්ට්‍රේලියානු ආගමන විගමන නිලධාරියකු වන ඩේවිඩ් ලේක් පවසන්නේ මෙම අසාධාරණයට දායකවීමට නොහැකි හෙයින් තමා රැකියාවෙන් ඉල්ලා අස්වූ බවයි.

බෝට්ටුවෙන් ගොඩ බැස සතියක් ඇතුළත මෙම ක්‍රියාදාමය අවසන් වන බව පවසන ඩේවිඩ් ලේක්, විදෙශිකයාගෙන් එක ප්‍රශ්නයක් පමණක් අසන බවත්, එයට දෙන පිළිතුර මත සියල්ල තීරණය වන බවත් කියා සිටියේය.

බලධාරීන් අසන ප්‍රශ්නය, ඕස්ට්‍රේලියාවට පැමිණීමට හේතුව කුමක්ද යන්නයි.

"මම දෙමල ජාතිකයෙක්, ඒ නිසා මට හිරිහැර කරදර වධ හිංසා ලැබෙනවා කියන පිළිතුර ලැබුනොත්, ඒ පුද්ගලයාට රැකවරණ සඳහා ඉල්ලීමේ ඉඩකඩ ලැබෙනවා. පිළිතුරක් නොලැබුනොත් ආපසු හරවා යැවීමයි සිදු වෙන්නේ. දින ගණනක මුහුදු ගමනකින් පසු, බෝට්ටුවෙන් බැහැපු ගමන් විඩාපත්ව සිටින අය මෙහෙම හරස් ප්‍රශ්න වලට ලක් කිරීම අසාධාරණයක්" බවයි ඔහු ප්‍රකාශ කරන්නේ

සතියකට විදේශිකයින් දෙසියයක්

අගමැතිනි ජුලියා ගිලාර්ඩ්, සතියකට විදේශිකයින් දෙසියයක් පමණ ආපසු යැවීමේ තීරණයකට එළඹ සිටින බවයි ඔහු කියා සිටින්නේ.

පෙරලා යැවීමෙන් පසු තමන් වධ හිංසාවට ලක් වූ බවත්, ලිංගික අතවර වලට මෙම පිරිස් ගොදුරුවන බවත් රැකවරණ ලබා සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඇම්නස්ටි ජාත්‍යන්තරය සහ හියුමන් රයිට්ස් වොච් වැනි සංවිධාන කියා සිටිති.

ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගැනෙන සමහර දෙමළ ජාතිකයින් පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය බොබ් කාර් පවසන්නේ, පසුගිය තුන් වසර තුළ පෙරලා යැවූ ශ්‍රී ලාංකිකයනට එරෙහිව කිසිදු අනතුරක් හෝ අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ සාක්ෂි කිසිවක් ලැබී නැති බවයි.