හදිසි ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධයි - ඇමති වාසු

Minister Vasudeva Nanayakkara

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කොට තිබියදී හදිසියේම එය සංශෝධනය කිරීමට දැරෙන උත්සාහයට විරෝධය පළ කළ බව ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙක් පවසයි.

එම විරෝධය සඳහන් කරමින් තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර ඇමතිවරුන් සමඟ එක්ව සකස් කළ සංදේශයක් කැබිනට් මණ්ඩලයට භාර දුන් බවයි, ජාතික භාෂා සහ ඒකාබද්ධතා පිලිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට කියා සිටියේ.

එමෙන්ම පළාත් දෙකක් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් පළාත් සභා පණත සංශෝධනය කිරීම ප්‍රමාණවත් අතර, ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය නම් තේරීම් කාරක සභාවට යොමු කළ යුතු බව තම ලිපියේ සඳහන් කළ බවත් ඔහු පැවසීය.

විශේෂ පණතක්

පළාත් සභාවලට බලය බෙදා හැරුණු 13 වැනි සංශෝධනය යලිත් වරක් සංශෝධනය කිරීමේ උත්සාහයට තමන් විරෝධය පළ කළ අතරවාරයේ, සන්ධානයේ පාර්ශ්වකාර පක්ෂ කිහිපයක් එම උත්සාහයට සහාය දක්වමින් කැබිනට් රැස්වීමේදී අදහස් පළ කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.

පළාත් සභාවලට ඒකාබද්ධ වීමට ඇති ඉඩ කඩ සැලසෙන බලතල විශේෂ පණතක් මගින් ඉවත් කිරීමට තීරණය කළ බව රජය නිවේදනය කළේය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙරෙන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකදී සාකච්ජා කිරීමටත් ඉන් අනතුරුව තීරණයක් ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය එකඟ වූ බවයි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බ්‍රහස්පතින්දා පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් බහුතරයක් කැබිනට් රැස්වීමේදී නිහඬව සිටි බැවින් බ්‍රහස්පතින්දා පැවති කැබිනට් රැස්වීමේදී අදාළ සංශෝධනය සම්බන්ධයෙන් සම්මුතියක් ඇති නොවූ බව ද, අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයට කියා සිටියේය.

"අපේ විරෝධය අපි ඉවත් කර ගන්නේ නෑ," ඔහු පැවසීය.

දහතුන් වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයට කෙරෙන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවකදී සාකච්ජා කිරීමකින් තොරව කෙරෙන වෙනස්කම් වලට තමන්ද එරෙහි වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ද පවසයි.

තම ස්ථාවරය දැනටමත් ජනාධිපති වරයාට දැන්වීමට කටයුතු කොට ඇති බව, මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවූෆ් හකීම් පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර