උතුරු පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදී - ජනපති යළි ප්‍රතිඥා දෙයි

උතුරු පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් වතාවක් ප්‍රතිඥා දෙයි.

මුලතිවු හි ඉරණමඩු ගුවන් පථය සහ යාපනය - මහනුවර ඒ 9 මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව කිලිනොච්චියේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ රජයෙන් හෝ ප්‍රාදේශීය සභාවකින් හෝ පළාත් සභාවකින් හෝ ප්‍රයෝජන ගැනීමට ජනතාව අවබෝධයක් ඇති කර ගත යුතු බවයි.

අද උතුරත් දකුණත් සමීප වී ඇති යුගයක් බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දකුණේ ජනතාවට ඇති සියලු අයිතිය උතුරේ ජනතාවටත් ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

මෙතෙක් සිදු කොට ඇති සංවර්ධන වැඩ ගැන අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ජනතාවගේ ජීවිත අඳුරට දමා සියල්ල හෙට වෙනස් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තුවන පිරිස් පිටරටවල සිට බලා සිටින බවත් රෑ වැටුන වලේ දවල් නොවැටෙන ලෙසත් ඉල්ලා සිටියේය.

දේශපාලන වාසි වෙනුවෙන් ජාතිවාදය වපුරමින් රජයේ සංවර්ධන ක්‍රියාදාමය අවතක්සේරුවට ලක් කරන පුද්ගලයන් වෙනුවෙන් පළාත් සභා මැතිවරණයේදී ජන්දය ලබා නොදෙන ලෙසටත් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.