ඉන්දු-ලංකා ගිවිසුම කඩ කළේ ඉන්දියාව: ජාතික හෙළ උරුමය

Minister Champika Ranawaka
Image caption දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේ සංචාරය කිරීම ඇමතිවරයාගේ දැඩි විවේචනයට ලක් විය

එල්ටීටීඊ ය නිරායුධ කරන බවට දුන් පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත්වීම මගින්, ඉන්දු-ලංකා ගිවිසුම කඩ කළේ ශ්‍රී ලංකාව නොව ඉන්දියාව බව ජාතික හෙළ උරුමය පවසයි.

ජාතික හෙළ උරුමය ඉන්දියාව වෙත එම චෝදනාව එල්ල කළේ පළාත් සභා ක්‍රමයට සංශෝධන ගෙන එමින් ශ්‍රී ලංකාව ඉන්දු-ලංකා ගිවිසුම උල්ලංඝනය කිරීමට උත්සාහ දරන බවට දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේදී කරන ලද බව පැවසෙන ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

කොළඹදී මාධ්‍යවේදීන් ඇමතූ එම පක්ෂයේ සභාපති අමාත්‍ය චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියේ, දේශපාලනික වශයෙන් ඉන්දු-ලංකා ගිවිසුම දැන් අහෝසි වී ඇති බවයි.

රාජිත සේනාරත්නට 'අභියෝගයක්'

"නිරායුධ කරනවා කියන්නේ ඔය ආයුධ කළෙත් ඔය ඉන්දියාවම තමයි. ඒ නිසා කඩ කරන්න ඉන්දු-ලංකා ගිවිසුමක් නෑ. කඩ කරලා ඉවරයි, අපි නෙවෙයි ඉන්දියාව කඩ කළේ," ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ආණ්ඩුව පළාත් සභා ක්‍රමයට ඉදිරිපත් කිරීමට සැරසෙන සංශෝධන සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුව දැනුවත් කිරීම පිණිස දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේ සංචාරය කිරීමද ඇමතිවරයාගේ දැඩි විවේචනයට ලක් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ශ්‍රී ලංකාවේදී විසඳා ගත යුතු බවයි, ඇමතිවරයා අවධාරණය කළේ.

පළාත් සභා ක්‍රමය පිළිබඳව තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට අභියෝග කළේය.

පළාත් සභා ක්‍රමයේ සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් පළාත් සභාවලට එරෙහිව හඬ නගන බවට සේනාරත්න අමාත්‍යවරයා පසුගියදා හෙළ උරුමය ඇතුළු පක්ෂවලට චෝදනා කළේය.

ප්‍රසිද්ධ විවාදයකදී එම චෝදනාවට පිළිතුරු දීමට සූදානම් බවයි, බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරයකු වන උදය ගම්මන්පිල පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර