ජනාධිපති කොමිසම සත්‍යය වසන් කිරීමේ උත්සාහයක්

මාතලේ සමුහ මිනීවල පිළිබඳව පරික්ෂා කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීම තුළින් රජය එහි සත්‍ය තත්වය යටපත් කිරීමට උත්සාහ දරන බවට අතුරුදහන් වුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ චෝදනා කරති.

මෙතෙක් රජයක් විසින් කොමිසන් සභා පත් කර ඇත්තේ ප්‍රශ්න යටපත් කිරීම සඳහා පමණක් බවයි අතුරුදහන් වුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නාමල් රාජපක්ෂ පවසන්නේ.

කොමිසන් සභා වලින් සාර්ථක ප්‍රතිඵලයක් අත් වී නැති බව පවසන නීතිඥ රාජපක්ෂ එම සභා සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් නැතැයිද කියා සිටියේය.

මාතලේ සමුහ මිනීවල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මහේස්ත්‍රාත්වරිය මාරු කර යවා තිබීමත්, කොමිසන් සභාවක් පත් කිරීමත් සත්‍යය යටපත් කිරීමට රජය ගන්නා උත්සාහයක් හැටියටයි නීතිවේදී රාජපක්ෂ සංදේශයට පැවසුවේ.

"රටේ ප්‍රබල පුද්ගලයන්ගේ නම් ගෑවී ඇති නිසාත්, දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් ගණනාවකගේ උනන්දුවක් පවතින නිසාත් මේ මිනීවල පිළිබඳ පරීක්ෂණ යටගැසීමටයි කොමිසමක් පත් කරන්නේ" යයි ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමට රජයට අවශ්‍යනම් කොමිසමක් පත් කිරීම වෙනුවට ස්වාධීන විමර්ශකයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කර පරීක්ෂණ පැවැත්විය හැකි බවයි අතුරුදහන් වුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පෙන්වා දෙන්නේ.