තේරීම් කාරක සභාව ගැන තවම තීන්දුවක් නෑ - දෙජාස

TNA leaders (file photo)
Image caption "ගිය සැරේ තිබුණු තත්ත්වයට වඩා දැන් තත්ත්වය පොඩ්ඩක් හරි වෙනස් වෙලා නෑ"

ආණ්ඩුව විසින් පත් කොට තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් තීන්දුවක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් 19-පුද්ගල කාරක සභාවක් පත් කරන බව කතානායක චමල් රාජපක්ෂ පසුගිය සිකුරාදා නිවේදනය කළේය.

දෙමළ ජාතික සන්ධානය ද එයට සහභාගි කර ගැනීම ආණ්ඩුවේ පූර්ණ උත්සාහය විය යුතු බව බීබීසී සංදේශය සමඟ පැවති සාකච්ඡාවකදී කියා සිටි ජ්‍යෙෂ්ට අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ, එම පක්ෂය එයට සහභාගි වන බවට දැනටමත් ඉඟි පලවෙමින් තිබෙන බව ද සඳහන් කළේය.

කෙසේ නමුත් තේරීම් කාරක සභාව පත්කිරීමට මුලින්ම උත්සාහ දැරුණු අවස්ථාවේ එයට නියෝජිතයන් නම් කිරීම තම පක්ෂය ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් බීබීසී සංදේශයට කියා සිටියේ, ආණ්ඩුව විසින් පත් කරන ලද තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් රැස් වී තීන්දුවක් ගත යුතු බවයි.

"හැබැයි ගිය සැරේ තිබුණු තත්ත්වයට වඩා දැන් තත්ත්වය පොඩ්ඩක් හරි වෙනස් වෙලා නෑ. ඇත්තටම දැන් තියෙන තත්ත්වය කලින්ටත් වඩා කරදර තියෙන තත්ත්වයක්," ඔහු පැවසීය.

ඒ පිළිබඳව සිය පක්ෂය ඉතා ඉක්මනින්ම තීන්දුවක් ගනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර