භික්ෂු රියදුරු බලපත් 'බුදුන් වහන්සේත් අනුමත කරාවි'

Buddhist monks in Sri Lanka
Image caption "බුදු දහම ඉගෙන ගෙන නෑ හුඟක් දෙනෙක්. ඒගොල්ල කල්පනා කරනව භික්ෂුන් වහන්සේ කෙනෙක් වාහන පැදවීම වැරදියි කියල"

බුදු රජාණන් වහන්සේ මේ සමයේ වැඩ සිටියා නම් භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර ලබා දිය යුතු බවට ශික්ෂා පදයක් පනවනු ඇතැයි ආචාර්ය පරගොඩ විමලවංශ හිමියෝ පවසති.

භික්ෂුන්ට රිය පැදවීම අකැප බවට විනය පිටකයේ කිසිදු සඳහනක් නොවන බව පවසන එහිමියෝ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජය බරපතල ගමනාගමන ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බව බීබීසී සංදේශයට පැවසූහ.

වස්‌කඩුව කුඩා වස්‌කඩුව ශ්‍රී ශාඛ්‍යමුණි විහාරස්‌ථානයේ විහාරාධිපති ආචාර්ය විමලවංශ හිමි අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමෙන් කියා සිටින්නේ පාසල් ගුරුවරයකු හා විහාරස්‌ථාන කීපයක්‌ පාලනය කරන තමාට එම ස්‌ථානවලට යැමේ ගමන් පහසුව සඳහා රියදුරු බලපත්‍රයක්‌ ඉල්ලා අයදුම්පත්‍රයක්‌ ඉදිරිපත් කළ නමුත් මෝටර් රථ වාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළ බවයි.

නීතිපතිවරයාගෙන් විරෝධතා

පැවිදි අයකුට රියෑදුරු බලපත්‍රයක්‌ නිකුත් කිරීමට නීතියෙන් කිසිදු තහනමක්‌ පනවා නැති බවත් මේ වන විට එක්‌ භික්‌ෂුවකට බලපත්‍රයක්‌ නිකුත් කර ඇති බවත් වයස 21 ට වැඩි වාහනයක්‌ පැදවීමට පළපුරුද්දක්‌ ලබා ඇති හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුත් ඕනෑම පුද්ගලයකුට රියදුරු බලපත්‍රයක්‌ නිකුත් කිරීමට මෝටර් රථ වාහන පනතේ රෙගුලාසිවලින් මෝටර් රථ වාහන කොමසාරිස්‌වරයා බැඳී සිටින බැවින් තමාට අයදුම්පත්‍රයක්‌ දීම ප්‍රතික්‍ෂේප කිරීමට ඔහු ගත් තීරණය අහෝසි කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

ථෙරවාදී බුදු දහම පවතින වෙනත් රටවල භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන බව ආචාර්ය විමලවංශ හිමියෝ පෙන්වා දෙති.

"බුදු දහම ඉගෙන ගෙන නෑ හුඟක් දෙනෙක්. ඒ නොදන්න කමට ඒගොල්ල කල්පනා කරනව භික්ෂුන් වහන්සේ කෙනෙක් වාහන පැදවීම වැරදියි කියල," එහිමියෝ පැවසූහ.

මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයා ඉදිරිපත් කොට තිබූ විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය, පෙත්සම ඔක්තෝබර් 22 වැනි දින විභාගයට ගැනීමට තීන්දු කළේය.