හිංසනයට ගොදුරුවූවන් ගේ තොරතුරු හෙළිදරව්වේ

amnesty

වධ හිංසාවට ගොදුරු වුවන් ගේ දිනය ලෙස එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් නම් කර ඇති අද ( ජුනි විසි හයවෙනිදා) ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ දී හිංසනයට ගොදුරුවූ පුද්ගලයන් ගේ ප්‍රකාශ ගණනාවක් ප්‍රසිද්ධියට පත් කොට ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්ධනකාරී නීති යටතේ අත්අඩංගුවට ගන්නා පිරිස් ආරක්ෂක අංශ විසින් හිංසනයට ලක් කෙරන බවයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ප්‍රකාශ කරන්නේ.

මෙම දරදඬු නීති යටතේ අත් අඩංගුවට ගන්නා පුද්ගලයින් අතර මාධ්‍යවේදීන්, නීතිඥයින්,නොයෙක් සංවිධාන වල ක්‍රියාධරයන් ඇතුළු රජයේ ක්‍රියා කලාපය විවේචනය කරන පිරිස් සිටින බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි.

ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද වධ හිංසාවට ගොදුරු වුවන් ගේ ප්‍රකාශන අසත්‍ය ප්‍රකාශ බවයි රජය කියා සිටින්නේ.

තමන් ප්‍රසිද්ධ කළ ප්‍රකාශ විශ්වාශනීය බව පවසන සංවිධානයේ දකුණු ආසියා අංශයේ ශ්‍රී ලංකාව පිළිබඳ පර්යේෂිකා යොලන්ඩා ෆොස්ටර් කියා සිටින්නේ වෛද්‍ය වාර්තා සහ රතු කුරුස සංවිධානය විසින්,හිංසාවට ලක් වුවන් ලබා දුන් වාර්තා සනාථ කොට ඇති බවයි.