චෝදනා රහිත සිරකරුවන්ට නඩු පවරන්න - අධිකරණය

ශ්‍රේෂ්ඨාධිකරණය, චෝදනා රහිතව රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන්ට අදාළ නීතිමය කටයුතු කඩිනම් කිරීමේ විශේෂ වැඩසටහනක් සකස් කරන මෙන් නීතිපතිවරයාට නියෝග කරයි.

හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 23 ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන වසර හතකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවකු ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීයි ශ්‍රේස්ටාධිකරණය විසින් එම නියෝගය දෙන ලද්දේ.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවා දායකයා නඩු පැවරීමකින් තොරව වසර හතකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බවයි.

චෝදනා පත්‍රයක් ලබා නොදී සැකකරුවන් මේ ආකාරයෙන් රඳවා ගැනීම නීති විරෝධී ආකාරයෙන් දඩුවම් ලබා දීමක් ලෙසයි නීතිඥ වරයා පෙන්වා දුන්නේ.

එම තර්කය අනුමත කළ අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් චෝදනා නොමැතිව සැකකරුවන් දීර්ඝ කාලයක රඳවා ගැනීම අසාධාරණ බව පිළිගත්තේය.

එවැනි සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම හෝ ඔවුන් නිදහස් කිරීම හෝ සම්බන්ධයෙන් නීතිපතිවරයා කඩිනමින් තීන්දු ගත යුතු බවයි; අග්‍ර විනිශ්චයකාරවරයා රජයේ නීතිඥවරියට අවධාරණය කළේ.

මත් කුඩු චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන්ගේ නාම ලේඛනයක් ලබන මස 9 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අග විනිසුරුවරයා විසින් රජයේ නීතිඥවරියට නියෝග කරන ලදී.