බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතන නඩුව 'ලංකාවට එරෙහි කුමන්ත්‍රණයක්'

Suspects in court (file photo)
Image caption මෙවැනි නඩු විභාගවලින් රජය පෙරලීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙන බව ප්‍රාදේශීය සභා සභාපතිවරයා පවසයි

තංගල්ලේ දී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව එම නඩුවේ විත්තිකරුවෙක් පවසයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවලට දහස් දැක්වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදාන පතිරණ, මෙවැනි නඩු විභාගවලින් රජය පෙරලීමට ක්සිවෙකුටත් හැකියාවක් නොලැබෙන බවයි.

"මේක මේ රජයට පොඩි කෙනිත්තිල්ලක් විතරයි. අතිගරු ජනාධිපතිතුමාට, පක්ෂයටවත් කාටවත් හානි කරන්න බෑ මේ ප්‍රශ්නේ උඩ," බව ඔහුගේ අදහසයි.

විදේශගත වීමට අනුමැතිය නෑ

2011 දෙසැම්බර් මස 25 වැනි දින රාත්‍රියේ තංගල්ල - මැඬිල්ල ප‍්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළ දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ට පහරදී, වෙඩි තබා මරා දැමීම පිළිබඳව ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු සැකකරුවන් අට දෙනකුට එරෙහිව නඩු පවරා තිබේ.

ලහිරු කැළුම්, සමන් දේශප්‍රිය, ප්‍රනීත් චතුරංග, එම් සරත්, එස්.පී. ප්‍රනීත් චතුරංග, නුවන් චින්තක, සහ එදිරිසූරිය පටබැඳි නදීර ශාමෙන් මෙම නඩුවේ අනෙක් විත්තිකරුවෝය.

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂිකරුවන්ට සැකකාර තංගල්ල ප්‍රාදේශිය සභා සභාපති ඇතුළු විත්තිකරුවන් තර්ජනය කරන බැවින් එම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට නීතිපතිවරයා තීන්දු කොට තිබෙන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

එහෙත් සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු තබා සාක්ෂිකරුවන් කවුන්දැයි යන්න හෝ විත්තිකරුවන් නොදන්නා බවයි, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ.

සැකකාර සම්පත් විදාන පතිරණට රාජකාරි කටයුත්තක් සඳහා විදේශගත වීමට අනුමැතිය දෙන මෙන් කෙරුණු ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

නඩු විභාගය ලබන නොවැම්බර් පළමු වැනි දිනට කල් තැබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර