එක් ජන කොටසක් අත බලය පැවතීම 'සමගියට බාධාවක්'

TNA leader with Minister Hakeem (file photo)
Image caption බලය යලි මධ්‍යගත කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට පක්ෂ දෙකම විරෝධය පළ කරයි

ශ්‍රී ලංකාවේ එක් ජන කොටසක් අත පමණක් බලය රඳා පැවතීම රටේ ජන කොටස් අතර සමගියට බාධාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ සිය පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය අතර බ්‍රහස්පතින්දා රාත්‍රිය පැවැත්වුණු සාකච්ඡා පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් පළ කරමින්.

"දෙමළ කථාකරන ජනතාව අතෙත්, ඒ ගොල්ල වැඩිය ඉන්න පළාත්වල, රටට කිසිම හානියක් කරන්නේ නැතිව, බලය බෙදල ඒගොල්ලන්ට බලය දෙන්න ඕන," බව ඔහුගේ අදහසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ ඒ අරමුණින් බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, එම සංශෝධනයෙන් ඉදිරියට බලය විමධ්‍යගත කිරීම ගෙන යන බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ප්‍රතිඥා දී තිබෙන බව ද පෙන්වා දෙයි.

කෙසේ නමුත් එම ප්‍රතිඥා කඩ කරමින් විමධ්‍යගත කොට තිබෙන බලයත් යලි මධ්‍යගත කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිළිබඳව ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේ අවධානය යොමු වූ බව ද සම්බන්ධන් මන්ත්‍රීවරයා සංදේශයට පැවසීය.

තම පක්ෂවලට ආණ්ඩුවේ එම ක්‍රියාදාමයට සහාය දිය නොහැකි බැවින් එයට විරෝධය පළ කළ යුතු බවට පක්ෂ දෙකේ එකඟත්වය පළ වූ බවයි ඔහු පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර