විදුහල්පති මරණයට ‘රජය වගකිව යුතුයි’

Image caption විදුහල්පතිවරුන්ටත්, විදුහල්පතිවරියන්ටත් හමුදා නිල ප්‍රදානයේ පුරෝගාමියා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

හමුදා පුහුණුවකදී විදුහල්පතිවරයකු මියයාම සම්බන්ධයෙන් රජය වග කිව යුතු බව ගුරු සංගම් ප්‍රකාශ කරයි.

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පැවති හමුදා පුහුණුවකට සහභාගි වී සිටියදී මියගිය රද්දොළුගම පඤ්ඤානන්ද විදුහල්පතිවරයා නීත්‍යානුකූල වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට ඇතිදැයි ගැටළුවක් මතුවන බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

කපිතාන් ධුර ප්‍රදානය සඳහා නියමිත නායකත්ව පුහුණුවකදී විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික‍්‍රමසිංහ හෘදයාබාධයකින් ඉරිදා උදෑසන මියගොස් ඇති බවයි හසලක පොලිසිය සඳහන් කළේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටි පරිදි මියගිය පනස් දෙහැවිරිදි ‘විදුහල්පතිවරයා විසින් ම ලබා දුන් වෛද්‍ය සහතිකයකින්’ පමණක් පුහුණු කරුවන් සෑහීමකට පත්ව තිබේ.

“ඒ පරීක්ෂණය පවත්වන්න ඕනෑ හමුදා නිලධාරීන්. එහෙම නැතිව විදුහල්පති වරයා දුන් සහතිකයට පුහුණුව ලබා දුන්නා කියා මග හරින්න ලැහැස්ති වෙනවා නම් සම්පූර්ණයෙන් වැරදියි,” සඳහන් කළ ඔහු, පුහුණුව පැවැත්වෙද්දී වෛද්‍ය වරයකු කඳවුරේ නොසිටි බවටද චෝදනා කළේය.

පනත් උල්ලංඝනයක්

තිස් වියට අඩු පිරිස් හමුදා භට පුහුණුවේ යෙදවීම මිනිස් බල උපයෝගිතා පනත උල්ලංඝනය කිරීමක් බවද පවසන ලංකා ගුරු සංගම් ප්‍රධාන ලේකම් වරයා විදුහල්පති වරුනට හමුදා නිල ප්‍රදානයත් ඒ සඳහා හමුදා පුහුණුව ලබා දීමත් වහාම අත් හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

හමුදා නිල අපේක්ෂාවෙන් පුහුණුව ලබන විදුහල්පතිවරුන්ගේ වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශකගෙන් දුරකතනයෙන් විමසීමට අප ගත උත්සාහය සාර්ථක වූයේ නැහැ.

විදුහල්පතිවරුන්ටත්, විදුහල්පතිවරියන්ටත් හමුදා නිල ප්‍රදානය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කැරුණේ ඉකුත් වසරේ ඔක්තෝබරයේදී.