ජාත්‍යන්තර පදක්කම් දිනා දීමට පහසුකම් නෑ - චින්තන විදානගේ

Chintana Vidanage (file photo)
Image caption 'බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් නම් කිසිම සැලසුමක් නැහැ අනාගතයට කොහොමද මුහුණ දෙන්නේ කියල'

එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ඔලිම්පික් උළෙල වෙනුවෙන් පුහුණුවීම් කරමින් සිටින තමාට අනුග්‍රාහකයකු සොයා දීමට පවා බලධාරීන් තවමත් අපොහොසත්ව ඇතැයි ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ශූරයා පවසයි.

තහනම් උත්තේජක භාවිත කිරීමේ වරදට 2011 දී පැනවුණු තරඟ තහනම හමාරයේ යලි ක්‍රීඩාවට අවතීර්ණ වී සිටින චින්තන විදානගේ, ඉන් අනතුරුව කිලෝ ග්‍රෑම් 85 ඉසවුවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට සමත් විය.

ලබන වසරේ ග්ලාස්ගෝ නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනා ගැනීමේ අරමුණින් යලිත් වරක් පුහුණුවීම් ආරම්භ කොට සිටින නමුත් තවමත් තමන්ට කිසිදු පහසුකමක් ලබා දී නොමැති බව චින්තන විදානගේ බීබීසී සංදේශයට පැවසීය.

'සැලසුමක් නැහැ'

"තාම නම් කිසිම සහයෝගයක ආරම්භයක් වත් නැහැ. අඩුම ගානේ මම බලාපොරොත්තු වෙනවා ලබන මාසේ ඉඳලවත් අමාත්‍යාංශයෙන් මට සහයෝගයක් දේවි කියල," ඔහු පැවසීය.

ක්‍රීඩාව නැංවීම පිණිස කිසිදු සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කිරීමට ක්‍රීඩා බලධාරීන් අපොහොසත් වී ඇති බව ඔහුගේ අදහසයි.

"මම හිතන්නේ බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් නම් කිසිම සැලසුමක් නැහැ අනාගතයට කොහොමද මුහුණ දෙන්නේ කියල," ඔහු පැවසීය.

2011 වර්ෂය දක්වා තහනම් කොට නොතිබුණු පෝෂ්‍යදායී කිරිපටි වර්ගයක් නොදැනුවත්කමින් භාවිත කිරීම තරඟ තහනම පැනවීමට හේතුව බව පවසන චින්තන විදානගේ තමා වරද පිළිගන්නා බව ද සංදේශයට කියා සිටියේය.

කෙසේ නමුත්, ජාත්‍යන්තර බලධාරීන් තහනම් උත්තේජක ලැයිස්තුව නිරන්තරයෙන් වෙනස් කිරීම හේතුවෙන් තමන් පමණක් නොව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරවද ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් අනතුරේ වැටුණු බව ද ඔහු පවසයි.

එමෙන්ම අදාළ වෛද්‍ය පරීක්ෂණ සඳහා කොළඹට පැමිණීමට අගනුවරින් පිටත වෙසෙන සියලුම ක්‍රීඩකයන්ට සිදු වී තිබෙන බව ද ජාතික බර ඉසිලීමේ ශූරයා කියා සිටියේය.