පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇඟිලි ගසන්න 'අධිකරණයට බෑ'

Athuraliye Rathana thero & Udaya Gammanpila at court (photo KS Udayakumar)
Image caption 'අපි හිතනවා මේ කාරණා පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය යහපත් ප්‍රතිචාරයක් දක්වාවි කියල'

පනතක් ඉවත් කර ගන්නා මෙන් පාර්ලිමේන්තුවට නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතැයි අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රි-පුද්ගල විනිසුරු මඬුල්ල පිළිගත් බව ජාතික හෙළ උරුමය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබෙන්නේ පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද යන්න තීන්දු කිරීමට පමණක් බව තමන්ගේ තර්කය වූ බවයි, බස්නාහිර පළාත් සභාවේ අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ.

ඔහු එම අදහස් පළ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ තුන් වැනි සංශෝධනයට සංශෝධන යෝජනා කරමින් ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ.

'නීති විරෝධීයි'

දැනට පළාත් සභාවලට පැවරී තිබෙන පොලිස් සහ ඉඩම් බලතල ඉවත් කිරීම, පළාත් සභා දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ වීම වැළැක්වීම ඇතුළු සංශෝධන පහක් එම කෙටුම්පතට ඇතුලත්.

අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තර්ක කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සියලුම පළාත් සභාවල අනුමැතිය ලබා ගැනීමකින් තොරව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම නීති විරෝධී බව පවසයි.

එම කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමේ නියෝගයක් පණවන මෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා සිටියි.

එයට එරෙහිව අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද යන්න විනා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය වැනි අභ්‍යන්තර කරුණු සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරී නැති බවයි.

"අපි හිතනවා මේ කාරණා පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය යහපත් ප්‍රතිචාරයක් දක්වාවි කියල," යනුවෙන් ද ගම්මන්පිල පළාත් සභා අමාත්‍යවරයා කියා සිටියේය.

පෙත්සම පිලිබඳ විභාගයේ රහසිගත තීන්දුව ඉදිරි දින කිහිපය තුළ කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර