හිටපු අගවිනිසුරු සැමියාට එරෙහි නඩුව යළිත් කල් යයි

Image caption විත්තිකාර ප්‍රදීප් කාරියවසම් මේ වන විට ඇප පිට මුදා හැර ඇති අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබ ඇත

ධුරයෙන් පහකළ හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායකගේ සැමියාට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා පත්‍ර කියවීම තුන් වැනි වතාවටත් කල් දමා ඇත.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම තීරණයට එළැඹියේ විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.

මෙම නඩුවේ විත්තිකරු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ගේ නීතිඥයන් විරෝධතාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මහේස්ත්‍රාත් අධිකරණයට අදාළ නඩුව විභාග කිරීම සඳහා බලයක් නොමැති බවයි.

ප්‍රදීප් කාරියවසම් එවකට සභාපති වශයෙන් කටයුතු කරද්දී ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිළ දී ගැනීම තුළින් රුපියල් කෝටි තිස් නවයකට අධික මුදලක් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබේ.

විත්තිකාර ප්‍රදීප් කාරියවසම් මේ වන විට අධිකරණය විසින් ඇප පිට මුදා හැර ඇති අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබ ඇත.