ධීවර ගැටළු විසඳීමට ඉන්දු ලංකා ධීවරයන්ගෙන් කරුණු විමසීම වැදගත්

ඉන්දු ලංකා ධීවර ගැටළු විසඳීම සඳහා දෙරට ධීවරයන්ගෙන් කරුණු විමසීම ඉතා වැදගත් බව ශ්‍රී ලාංකික ධීවර සංවිධාන නියෝජිතයෝ පවසති.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම් කරු හර්මන් කුමාර පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය ප්‍රමාද වී හෝ දෙරටේ ධීවරයන්ගේ අදහස් හුවමාරුවකට මුල පිරීම උචිත බවයි.

සාධාරණ වැඩපිළිවෙළක්

දෙරටේම ධීවරයන්ගේ එකඟතාවකින් යුතු පොදු සාධාරණ වැඩපිළිවෙළක් ගොඩනැගීම සඳහා පහල මට්ටමේ සිට දෙරට රාජ්‍ය මට්ටම දක්වා වූ සාකච්ජා මාලාවක් පැවැත්විය යුතු බවයි ඔහු කියා සිටියේ.

2010 වසරේ දී උතුරු නැගෙනහිර ඇතුළු ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ගොස් එරට ධීවරයන් සහ ධීවර සංවිධාන සමග සාකච්ජා කොට විසඳුමකට ආ නමුත් එය ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ බව ඔහු ප්‍රකාශ කළේය.

ආක්‍රමණ

උපරිම පල නෙලා ගැනීමට නොහැකි වී ඇත්තේ ඉන්දියානු ධීවරයන්ගේ ආක්‍රමණ නිසා බවයි මන්නාරම දිස්ත්‍රික් ධීවර සංවිධානයේ ලේකම් ඇන්ටනි සහයන් ප්‍රකාශ කළේ.

තමිල්නාඩුව වහාම කළ යුත්තේ තහනම් මසුන් මැරීමේ ක්‍රම නවත්වා ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඉන්දීය ධීවරයන් පැමිණීම නැවැත්වීම් බවයි ඔහු කියා සිටින්නේ.

ඉන්දූ- ලංකා ධීවර ප්‍රශ්නය විසඳීම් සඳහා සැබෑ ධීවරයන් සහභාගි විය යුතු බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සංවිධානය ප්‍රකාශ කළේය.

එහි සම්බන්ධීකාරක ආනන්ද පීරිස් පැවසුවේ මුහුදු සීමා දේශ සීමා පැවතියත් ශ්‍රී ලාංකික ධීවරයන්ට නිදහසේ මසුන් මැරීමේ අයිතිය අහිමි වී ඇති බවයි

දෙරට ධීවර ගැටලුව විසඳීම සදහා ඉන්දියාව වැනි රටකින් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලාංකික ධීවරයෝ කියා සිටිති