පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් කැඳවීම 'සලකා බලනවා'

Sri Lanka Tamil voters
Image caption 'උතුරේ මැතිවරණය සඳහා යුරෝපා සංගමයේ නිරීක්ෂකයන් කැඳවිය යුතුයි'

උතුරු පළාත් සභා මැතිවරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලින් නිරීක්ෂකයන් කැඳවීම පිළිබඳව සලකා බලමින් සිටින බව මැතිවරණ බලධාරීහු පවසති.

කෙසේ නමුත් ජාත්‍යන්තර නිරීක්ෂකයන් කැඳවීම සම්බන්ධයෙන් මැතිවරණයට තරඟ කරන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මුලින්ම එකඟතාවයකට පැමිණිය යුතු බවයි, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් එම් මොහමඩ් පවසන්නේ.

ඔහු ඒ බව කියා සිටියේ, පළාත් සභා මැතිවරණයට සූදානම පිළිබඳව බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

යුරෝපා නිරීක්ෂකයෝ

ශ්‍රී ලංකාව සාමාජිකත්වය දරන ජාත්‍යන්තර සංවිධානවලින් පමණක් නිරීක්ෂකයන් කැඳවීම සාමාන්‍ය සම්මතය වුවද, දේශපාලන පක්ෂ එකඟ වන්නේ නම් වෙනත් සංවිධානවලින් පවා නිරීක්ෂකයන් කැඳවීමේ හැකියාවක් තිබෙන බව ද නියෝජ්‍ය කොමසාරිස්වරයා පැවසීය.

මැතිවරණ දිනය උදා වන තුරු බලා නොසිට උතුරේ මැතිවරණය සඳහා යුරෝපා සංගමයේ නිරීක්ෂකයන් කැඳවිය යුතු බවයි මේ අතර කැෆේ සංවිධානය පවසන්නේ.

විශේෂයෙන්ම උතුරේ පවතින දැඩි මිලිටරිකරණය හේතුවෙන් යුරෝපා නිරීක්ෂකයන් කැඳවීමේ අවශ්‍යතාවය එහි ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් අවධාරණය කරයි.

මැතිවරණය පිළිබඳව තමන්ටද දැනුම් දීම ලැබුනේ අවසාන මොහොතේ බව පවසන මැතිවරණ කොමසාරිස්වරයා එබැවින් මැතිවරණයට කලින් යුරෝපා නිරීක්ෂකයන් කැඳවීමට දැන් ප්‍රමාද වැඩි බව ද පැවසීය.

ලබන 12 වැනිදා පැවැත්වෙන පක්ෂ ලේකම් සාකච්ඡාවේදී මැතිවරණ නිරීක්ෂකයන් සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.